ඇමෙරිකා බි‍්‍රතාන්‍ය මිතුදම් සදාකාලිකයි



මහා බි‍්‍රතාන්‍යයත් ඇමෙරිකාවත් අතර පවතින විශේෂ මිත‍්‍රත්වය සදාකාලික බවත් එය කිසිම අවස්ථාවක පළුදු නොවනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින ඔහු වෙනුවෙන් සංවිධානය කළ විශේෂ භෝජන සංග‍්‍රහයට එක්වී සවුදිය පුරමිනි.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව මෙලානියා මහා බි‍්‍රතාන්‍යයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණ සිටිති.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප‍්‍රධානත්වයෙන් බකිංහැම් මාලිගයේ දී පැවැත්වුණු විශේෂ භෝජන සංග‍්‍රහයට සම්භාවනීය අමුත්තෝ 170 දෙනෙක් සහභාගී වූහ.

මහ රැජිනගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳ සතුටට පත් වූ ඇමෙරිකන් ජනාධිපති ට‍්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ ‘ඇය සැබැවින්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්’ කියාය.

ට‍්‍රම්ප් සහ මෙලානියා සමඟ මෙම බි‍්‍රතාන්‍ය සංචාරයට ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක් ද එක් වී සිටිති. ඔවුහු ද පෙරේදා සවස බකිංහැම් මාලිගයේ පැවැති භෝජන සංග‍්‍රහයට එක් වූහ.

ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරන දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර්, ට‍්‍රම්ප්ගේ විශේෂ උපදේශිකා කේලීන් කොන්වේ, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, ඇමෙරිකා භාණ්ඩාගාරික ලේකම් ස්ටීවන් මුන්චින් ආදීහු එම නියෝජිත පිරිස අතර සිටියහ.

මහ රැජින විසින් සංවිධානය කළ භෝජන සංග‍්‍රහයට එංගලන්තයේ සිටින ඇමෙරිකන් රාජ්‍ය තාන්ති‍්‍රකයෝ් ද එක්වූහ.

විලියම් කුමරුන් සහ ඔහුගේ බිරිඳ කේම්බි‍්‍රජ් ආර්යාව හෙවත් කේට් මිඞ්ල්ටන් ද භෝජන සංග‍්‍රහයේදී කැපී පෙණුනු බව පැවැසෙයි. හැරී කුමරුන් පැමිණ සිටියේ තනිවමය.

බකිංහැම් මාලිගයේ පැවැති භෝජන සංග‍්‍රහයට සහභාගීවීමට පෙර ජනපති ට‍්‍රම්ප් සහ මෙලානියා, ක්ලැරන්ස් හවුස් මන්දිරයේදී චාල්ස් කුමරුන් සහ බිරිඳ කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා පාකර් හමුවිය. එහිදී ද ට‍්‍රම්ප් යුවලට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට පෙර, දහවල් බකිංහැම් මාලිගයට ගිය ට‍්‍රම්ප් සහ මෙලානියා යුවලට ඔවුන්ට බකිංහැම් මාලිගයේ ඇති කලා කෞතුකාගාරය පෙන්වීමට දෙවැනි එලිසබත් මහ රැජින කටයුතු කළේ මහත් උනන්දුවෙනි. එම අවස්ථාවට හැරී කුමරුන් ද සහභාගී වූ බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ජනපති ට‍්‍රම්ප් සහ මෙලානියා වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුර නැරැඹීට ගොස් පළමු ලෝක යුද්ධයේ දී දිවි පිදූ බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් සිහි කරමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමක් ද කළහ.

ලන්ඩන් සංචාරය අතරතුරේ ඇමෙරිකා ජනාධිතිවරයා සහ ආර්යාව නැවැතී සිටින්නේ රීජන්ට් උද්‍යානයේ වින්ෆීල්ඞ් මන්දිරයේය. මෙය බි‍්‍රතාන්‍යයේ ඇමෙරිකා තානාපතිවරයාගේ නිල නිවස ලෙස සැලකෙයි.

බකිංහැම් මාලිගයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS