අගමැතිවරුන්ගේ වීඩියෝ හමුව



ශ්‍රී ලංකාවේ සාම සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පැවැත්විණි.

ඉන්දියාව අසල්වැසි රටක් සමඟ මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශීය නායකයකු සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන පළමු සමුළුව මෙය විය.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂ පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ද කළේය.

අග්‍රාමාත්‍යවරු දෙදෙනාම මෙහිදි සංහිඳියාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර දෙරටට බලපාන ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය හා ජාත්‍යන්තර කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළහ.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.  


RECOMMEND POSTS