මිනිසාගේ ආදීතමයෙක් ඉතියෝපියාවෙන්



මිනිසාට සෘජුව නෑකම් කියන, වසර මිලියන 3.8 කට පැරැණි ආදි මානවයකු ගැන තොරතුරු ඉතියෝපියාවෙන් වාර්තා වේ.

‘එම්.ආර්.ඩී’ යනුවෙන් නම් කළ මෙම මානවයා ගැන තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කළේ ඉතියෝපියා ඇමෙරිකා පොසිල විද්‍යාඥ යොහානේස් හැයිලී සෙලාසීය.

ලොව පිළිගැනීමට ලක් වුණු කීර්තිමත් පොසිල විද්‍යාඥයකු වන මොහු ඇමෙරිකාවේ ක්ලීව්ලන්ඞ් කෞතුකාගාරයට සම්බන්ධ මහාචාර්යවරයෙකි.

‘එම්.ආර්.ඩී’ මානවයා සම්බන්ධ තොරතුරු මහාචාර්ය යොහානේස් හැයිලී සෙලාසී විසින් අනාවරණය කරනු ලැබුවේ ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර පැවැති මාධ්‍ය හමුවේදීය.

‘එම්.ආර්.ඩී’ මානවයා අයත් වන්නේ ‘හෝමිනින්’ යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ මානව පවුලටය. ‘එම්.ආර්.ඩී’ මානවයාගේ කුඩා ප්‍රමාණයේ හිස් කබල සොයා ගැනීමට හැකිවී ඇත්තේ 2016 පෙබරවාරියේ ඉතියෝපියාවේ වොරන්සෝ මයිල් පොසිල කැණීම් බිමෙනි.

මෙම කැණීම් බිම විල් තෙරක පිහිටා ඇත. එහෙයින් ප්‍රමාණයෙන් කුඩා හිස් කබල විල් ඉවුරේ රොන් මඩ අතරේ රැඳී පැවැති හෙයින් එය සම්පූර්ණයෙන් සුරැකී තිබුණු බව පැවැසෙයි.

පොසිලකරණයට ලක්වුණු හිස් කබල සොයා ගැනීමට හැකිවී ඇත්තේ අෆාර් පළාතෙන් කැණීම් බිමට ආ අලී බෙරෙයිනෝ නමැති සේවකයා බවත් ඔහු තමාට හිස් කබල ගෙනැවිත් දුන් බවත් අඩිස් අබාබා අගනුවර පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය සෙලාසී පැහැදිලි කළේය.

‘එම්.ආර්.ඩී’ ආදි මානවයා හෝමිනින් මානව පවුලට අයත් බවත් මීට පෙර හෝමිනින් මානවයන්ගේ අස්ථි හමුවී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බව ද මහාචාර්යවරයා කියයි. එසේ හමුවී ඇත්තේ ද දත් කීපයක් හා හකු අස්ථි කොටස් පමණක් යැයි ද පැවැසෙයි.

‘එම්.ආර්.ඩී’ හිස් බලය ස්කෑන් කර පරිගණක ආධාරයෙන් ‘එම්.ආර්.ඩී’ මානවයාගේ ස්වරූපය ප්‍රති නිර්මාණය කිරීමට ද විද්‍යාඥයෝ සමත් වී සියිති. විද්‍යාත්මකව ‘එම්.ආර්.ඩී’ මානවයා හැඳින්වෙන්නේ ‘ඔස්ටලෝපිතිකස් ඇනමෙන්සිස්’ යනුවෙනි.

හමුවී ඇති හිස් කබල පිරිමි මානවයකුගේය. හිස් කබලේ හකු අස්ථියේ ස්වභාවය සහ කෘන්තක දත් පිහිටීම අනුව ඇනමෙන්සිස් මානවයකු බවට තහවුරු කර ගැණුනි. මෙවැනි මානවයන් අඩි 5 ක් උස බවත් රාත්තල් 100 ක් පමණ බරින් යුක්ත වන්න ඇති බවත් පැවැසෙයි.

මානව පරිණාම සටහන අනුව, මීට පෙර මිනිසාගේ සෘජු ආදිතමයා ලෙස සැලකෙන්නේ ‘ලුසී’ ය. මිනිසාගේ ආදිතම මිත්තණිය යන නමින් ද ලොව ප්‍රසිද්ධියට පත් ලුසී ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 3.2 කට පෙරය. ‘එම්.ආර්.ඩී’ මානවයා සැලකෙන්නේ ලුසීගේ ආදිතමයා ලෙසය. ලුසී හැඳින්වෙන්නේ ‘ඔස්ට්‍රලෝපිතිකස් ඇෆරෙනිස් යනුවෙනි. ලුසීගේ පොසිල අස්ථි හමුවුණේ ඇෆර් නිම්නයෙනි.

(ඩේලිමේල් ඇසුරිනි)

මානව පරිණාමයේ දිග කතාව කෙටියෙන්

නූතන මිනිසා අද සිටින තත්වයට පත්වීමට දිගු ගමනක් පැමිණ ඇත. මිනිසා අයත් වෙන්නේ පෘෂ්ඨවංශිකයින් අතර සිටින මමාලියා ගණයට අයත් යුතේරියා නමින් හැඳින්වෙන උප සත්ත්ව වර්ගයටය. ක්ෂීරපායීන් ගෝත්‍ර 15 කට බෙදේ. ඒවා අතුරින් අග්‍රේශ හෙවත් ප්‍රිමාටේස් ගෝත්‍රය ප්‍රධාන තැනක් ගනී. වඳුරන්, වානරයින් සහ මිනිසා අයත් වන්නේ මෙම ගෝත්‍රයටයි.

ප්‍රාථමීකයෝ
මුලින්ම බිහිවූ ප්‍රාථමීක ප්‍රිමාටේසයන් අතර ලීමර්, ටාසියර් වඩාත් ප්‍රචලිතය. මෙම ප්‍රාථමීක ප්‍රිමාටේසයන් අතරින් එක් සත්ත්වයකුගෙන් වඳුරන්ගේ පූර්වජයා බිහි වී ඇත. ඒ මීට වසර මිලියන 40 කට පමණ ඉහත දීය. අනතුරු ව වසර මිලියන 28 ක් පමණ වනතුරු වඳුරෝ ඉතා විශාල වශයෙන් ලොව පුරා ව්‍යාප්තව සිටියහ. මෙම කාලයේදී මහද්වීප ප්ලාවිතය සිදුවිය. එනම් අප්‍රිකා හා ඇමෙරිකා මහද්වීප වෙන්වීමයි. එහිදී එකල ජීවත් වූ වඳුරන් ද වෙන් විය. එමඟින් කලක් ගත වන විට එකිනෙකට වෙනස්කම් දක්වන වඳුරු වර්ග දෙකක් බිහි විය. අප්‍රිකාවේ ඉතිරි වූ වඳුරන්ගෙන් පැවැතෙන්නන් පැරැණි ලොව වඳුරන් ලෙස ද, ඇමෙරිකා භූමියේ ඉතිරි වී විකාශනය වූ වඳුරෝ නූතන ලොව වඳුරන් ලෙස ද හඳුන්වති. පොදුවේ මෙම වඳුරන් හඳුන්වන්නේ උසස් ප්‍රිමාටේසයන්ගේ ආරම්භක අවධිය ලෙසය.

දියුණු ප්‍රිමාටාවෝ
උසස් ප්‍රිමාටේසයන්ගේ ආදීතමයා වසර මිලියන 26 කට ඉහත වාසය කළ ප්‍රොකන්සල් නම් කුඩා ඒප්පයාය. අඩි දෙකක් පමණ උස මේ සතකුගේ හිස් කබලක් නැගෙනහිර අප්‍රිකාවෙන් හමු වී ඇත. මෙම ප්‍රිමාටේසයන්ගේ ඥාතීන්ගේ පොසිල යුරෝපය හා ඉන්දියාව වන රටවලින් ද හමු වී තිබේ. චිම්පන්සි, ගොරිල්ලා, ඔරන්උටන් සම ගිබන් මෙම පරපුරේ නූතන සාමාජිකයන්ය.

මයෝසීන යුගයේදී
මයෝසීන යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර මිලියන 24 - 25 ත් අතර කාලයයි. එවකට ඉතිරි ව සිටි අප්‍රිකා වානරයෝ විශාල ලෙස ව්‍යාප්තව ගියහ. මොවුන් ‘මයෝසීන වානරයින්’ ලෙස හඳුන්වයි. මොවුන්ගෙන් එක් කොටසකින් ලොව පළමු මානවයන් බිහිවිය. ඒ අනුව මානව පවුලේ ආදිමයා හොමිනිඞ් ය. මොවුන් මානවයන්ගෙන් පමණක් නොව ගොරිල්ලාවන්ගේ ද පූර්වජයින්ය. විශේෂ ජීව ක්‍රියාවලියකට හැඩගැසුණු සත්ත්ව කොටසක් ලෙසට හොමිනිඞ් පවුලට වසර මිලියන 5 ක් පමණ ඉතිහාසයක් ඇත.

හොමිනිඞ් පවුල
හොමින්ඞ් පවුලෙන් බිඳී ආ මානව පූර්වජයා ආරම්භ කළ උප පවුල හඳුන්වන්නේ හොමිනින් ලෙසිනි. ඔවුහූ හොමිනිඞ් මානවයන්ට වඩා හොඳින් දෙපයින් ගමන් කරති. එය මානව පවුලේ දිගු ගමනකට මනා පිටුවහලකි. දේශගුණික වෙනස්කම් නිසා මිහිතලය වසාගෙන පැවැති ඝන වනාන්තර තුනී වී තණ බිම් නිර්මාණය වී ඇත. එක් වනාන්තරයකින් තවත් වනාන්තරයකට යාමේ දී විශාල තණබිම් තරණය කිරීම මෙම ආදී මානව පූර්වජයන් ලැබූ වාසියකි. මේ ආකාරයට අදින් වසර මිලියන 5 ක් 6 ක් අතර සිට මානව විකසනය සිදුවූ ආකාරය පොසිල සාධක මගින් විස්තර කළ හැකිය.

ආඩිපිතකස් රැමිඩස්
මානව පවුලේ මුල්ම සාමාජිකයා ආඩිපිතකස් රැමිඩස්ය. මොහු ජීවත් වූයේ අවුරුදු මිලියන 4.5 ක් ඈත අතීතයේය. මානව පවුලේ මුල්ම සාමාජිකයා වුවත්, මොහු මුල් ම මානවයා නොවන බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෙනුමින් මේ සත්වයා චිම්පන්සියකුට සමානය. සුවිශේෂී ලක්ෂණය නම් දෙපයින් ඇවිද යෑමය. ආඩිපිතකස් රැමිඩස් වනාන්තර ප්‍රදේශවල ජීවත් වූ අතර රාත්‍රියේ ගස් අතුවල නිදා ගත්තේය. දිවා කාලයේ තණ බිම්වල ඇවිද යමින් අල ජාති මුල් ජාති හාරා ආහාරයට ගත්තේය. හොඳින් වැඩුණු ආඩිපිතකස් රැමිඩස් මීටර් 1.3 ක් උසින් යුක්ත විය. බර කිලෝ ග්‍රෑම් 50 කි.

ආඩිපිතකස් කඩාබ්බා
ආඩිපිතකස් රැමිඩස්ගේ හිස් කබලක්, දත් සහ පොසිලකරණයට ලක් වුණු අස්ථි හමුවූයේ අප්‍රිකාවේ ඉතියෝපියාවෙනි. ඒ, 1994 වසරේදීය. 2001 වසරේදී ඉතියෝපියාවෙන්ම ආඩිපිතකස් රැමිඩස්ටත් වඩා පැරැණි මානවයකුගේ සාක්ෂි සොයා ගැණින. මේ සත්වයා ආඩිපිතකස් කඩාබ්බා යනුවෙන් නම් කර ඇති අතර මේ සත්වයා ජීවත් වී ඇත්තේ අවුරුදු මිලියන 5.6 ත් 5.8 ත් අතර කාලයේය. ආඩිපිතකස් කඩාබ්බාගේ පොසිල අස්ථි ද ආඩිපිතකස් රැමිඩස්ගේ පොසිල අස්ථිවලට බෙහෙවින් සමානය. දෙදෙනා අතර සමීප ඥාතී සම්බන්ධයක් තිබෙන්න ඇතැයි ඒ අනුව විශ්වාස කෙරේ. කඩාබ්බා යනු ඉතියෝපියා ගෝත්‍රික වදනකි. එහි අර්ථය ‘පවුලේ මුල්ම සාමාජිකයා’ යන්නයි.

ඔස්ට්‍රොලෝපිතකස්
ආඩිපිතකස්ගෙන් පරිණාමය වන්නට ඇතැයි සැලකෙන මානව පූර්වජයා ඔස්ට්‍රොලෝපිතකස්ය. දැනට යඩාත් පැහැදිලි ලෙස තොරතුරු අණාවරණය වී ඇති ආදීතම මානව පූර්වජයා මොහුය. මෙම අවධිය පිළිබඳ ව ලැබෙන පොසිල වාර්තා අනුව මෙම අවධියේ දී මානව ලක්ෂණ සහිත මුල්ම ජීවීන් බිහිවී ඇත. පුරාවිද්‍යාඥයින් විසින් ඔස්ට්‍රොලෝපිතකස් මානව පොසිලයක් මුල්වරට සොයා ගනු ලැබුවේ 1974 දී ඉතියෝපියාවේ ඇෆර් නම් ප්‍රදේශයේ කළ කැණීමකිනි.

හෝමෝ හැබිලිස්
‘හෝමෝ’ පවුලට අයත් ආදීතම සාමාජිකයා ලෙස සැලකෙන්නේ හෝමෝ හැබිලිස්ය. මේ මානවයා අවුරුදු මිලියන 2.3 ත් 1.4 ත් අතර වාසය කළේය. දෙපයින් නැගී සිටි මොළය සැලකිය යුතු ලෙස වර්ධනය වූ මුල් ම මානවයා හෝමෝ හැබිලිස්ය. වර්ෂ 1960 දී නැගෙනහිර අප්‍රිකාවේ ඔල්ඩුවායි දොරුවෙන් පොසිල සාක්ෂි සොයා ගන්නා ලදී. මොහු අදින් වසර මිලියන 2.4 - 115 ත් අතර කාලයේ වාසය කර ඇත. මෙම කාලය අයත් වන්නේ ප්ලයිස්ටෝසීන යුගයටය. මෙය මිහිමත අධිත ශීත කාල පරිච්ඡේදයකි. ඔල්ඩුවායි දොරුවෙන් හමුවූ පොසිලවලට අමතරව ටැන්සානියාවෙන්, ඉතියෝපියාවෙන් දකුණු අප්‍රිකාවෙන් හා කෙන්යාවෙන්ද මෙම මානව වර්ගයේ පොසිල ලැබී ඇත. මේ අනුව හෝමෝ හැබ්ලිස් අප්‍රිකාව පුරා ව්‍යාප්තව සිටි බවට කරුණු හෙළිවේ. මානව පවුලේ ආරම්භය ද හැබිලස් යුගයේ දී සිදු විය. සමූහ වශයෙන් ගල් ලෙන්වල ජීවත් වූ හැබිලස් මුල් ම පවුල් සම්බන්ධතා ද ගොඩ නඟා ගෙන ඇත. හෝමෝ හැබිලස් යනුවෙන් මොහු හැඳින්වීමට හේතුවූයේ ශිලා ආයුද නිමවීමට හා සංස්කෘතියක් ඇරැඹීමට ගත් උත්සාහය නිසයි. ඒ අනුව ‘සත්‍ය මානවයා’ එනම් නිපුණ කාර්්‍යයශූර මානවයා ලෙස ද හැබිලස් හඳුන්වා ඇත.

සෘජු මිනිසා
මානව පරිණාමයේ හෝමෝ ඉරෙක්ටස්ට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. සිරුර කෙළින් තබා ගෙන ඇවිදීමට තිබූ හැකියාව නිසා ‘සෘජු මිනිසා’ යන අර්ථයෙන් ‘හෝමෝ ඉරෙක්ටස්’ ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. ප්ලයිස්ටෝසීන හෙවත් ග්ලැසියර අවධිය ලෙස මොවුන් ජීවත් වූ කාලය හැඳින්වෙයි. මෙම අවධියේදී උෂ්ණත්ව වෙනස්වීම්වලට අනු ව පාරිසරික වෙනස්වීම් ද සිදුවිය. හෝමෝ ඉරෙක්ටස්ගේ සංස්කෘතික වශයෙන් වෙනස්වීම් රාශියක් ද මේ යුගයේ සිදුවිය.

ඉරෙක්ටස්
දියුණු මොළයක් තිබූ ‘ඉරෙක්ටස්’ මානවයා සතුන් හා ශාක හීලෑ කිරීමේ කාර්යයේ යෙදී ඇත. තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී උපකරණ භාවිතය යම් දියුණු මට්ටමක තිබී ඇත. ගලින් නිම කළ අත් පොරොවක හැඩය ගත් ආයුදයක්, මන්නයක් මෙන් පැතැලි තලයක්, සීරීම සඳහා යොදාගත් පතුරු යනාදී ආයුද කට්ටල භාවිත කළ බවට සාධක හමු වී තිබේ. චීනයේ හා වෙනත් නැගෙනහිර හා අග්නිදිග ආසියානු හෝමෝ ඉරෙක්ටස්වරු ලීවලින් සඳාගත් උපකරණ භාවිත කර ඇති බවට සාධක වේ. ගින්දර පිළිබඳ මුල් ම සාධක මේ මානවයන්ගෙන් ලැබේ. ස්වභාවයෙන් ම ඇති වූ ගින්නකින් හෝ ගලකින් ගලකට ගසන අවස්ථාවක ලද අත්දැතීමකින් ඔවුන් ගින්දර හඳුනාගන්නට ඇත. ගින්නෙන් පිළිස්සූ ආහාර ගැනීමට පෙලඹීමෙන් ඉරෙක්ටස් යුගයේ මානවයා විශාල වෙනස්කම් රැසක් උරුම කර ගත්තේය. ජීර්ණය පහසුවීම නිසා මානව පරිණාමයේ නව ප්‍රවණතා ඇති විය. දත් සහ හකුවල වෙනස්කම් සිදුවිය. මොවුන් ගල්ලෙනක් හෝ සරල ව සාදාගත් අතු පැලක් තම කණ්ඩායමට වෙන්කර ගැනීම විශේෂිතය. සීතලෙන් ආරක්ෂාවීමට සත්ත්ව සම් පෙරවීම මෙකල පටන්ගෙන ඇත.

හෝමෝ සේපියන්ස්
අදින් වසර 50,000 කට පෙර හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් හෝමෝ සේපියන් මානවයා පරිණාමය වූ බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. මොවුන් අතරින් හෝමෝ සේපියන් නියන්ඩතාලෙන්සිස් හෙවත් නියැන්ඩතාල් මානවයා හෝමෝ සේපියන්ගෙන් පැවත ආ උප විශේෂයකි. මෙම උප විශේෂය අදින් වසර 35,000 - 75,000 අතර කාලයේ යුරෝපයේ හා ආසියාවේ බෙහෙවින් ව්‍යාප්ත වී ඇත.

හෝමෝ නියැන්ඩතාලෙනිස්
හෝමෝ නියැන්ඩතාලෙනිස් එසේත් නැතිනම් නියැන්ඩතාල් මානවයන් ජීවත් වුණැයි පැවැසෙන්නේ යුරෝපයේ, රුසියාවේ සහ මැද පෙරදිග කලාපයේය. ඒ, අවුරුදු 3,00,000 ත් 30,000 ත් අතර කාලයේය. මෙම මානවයා ගැන පළමුවෙන්ම සාක්ෂි හමුවූයේ ජර්මනියේ නියැන්ඩර් නිම්නයෙනි. හෝමෝ නියැන්ඩතාලෙනිස් යන්නෙහි අර්ථය නියැන්ඩර් නිම්නයෙන් ආ මානවයා යන්නය. පළමුවෙන්ම මෙම මානවයා ගැන සාක්ෂි සොයා ගත්තේ 1865 වසරේදීය. හෝමෝ නියැන්ඩතාලෙනිස් අපේ සෘජු මතුන්මිත්තන් නොවන නමුත්, ඔවුන් අපේ දුරස්ථ ඥාති සොහොයුරන් පිරිසක් බවත් මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන් ද මානව පවුලේ තවත් එක් සාමාජික කණ්ඩායමක් පමණක් විය.

නූතන මිනිසා
නූතන මිනිසා එසේත් නැතිනම් හෝමෝ සේපියන් සේපියන් පහළ වූයේ අප්‍රිකාවෙනි. ඒ, අවුරුදු 200,000 ත් 150,000 වසර කාලයේය. මනුෂ්‍යයන් සැවොම් අයත් වන්නේ හෝමෝ සේපියන් සේපියන් නමැති මෙම උප විශේෂයටය. අප්‍රිකාවෙන් පිට හෝමෝ සේපියන් සේපියන් මානවයකු ගැන සාක්ෂි හමුවී ඇත්තේ ඊශ්‍රායලයෙනි. ඒ මානවයා ඊශ්‍රායලයේ පහළ වී ඇත්තේ අවුරුදු 90,000 කට පෙර අතීතයේ යැයි පැවැසෙයි. අවුරුදු 40,000 කට පෙර, හෝමෝ සේපියන් සේපියන් මානවයන් ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ විය. යුරෝපයටත්, බෝනියෝවටත් හෝමෝ සේපියන් සේපියන් පැතිර ගියේය. හෝමෝ සේපියන් සේපියන් යන්නෙහි අදහස ‘බුද්ධිමත් බුද්ධිමත් මිනිසා’ යන්නය. වර්තමානයේ අප මිනිසුන්, හෝමෝ සේපියන් සේපියන්ගෙන් පරිණාමය වී ඇත්නම් ඒ ස්වල්ප මාත්‍රයක් පමණි.

ක්ලෝවිස් මිනිසා
හෝමෝ සේපියන් සේපියන් මානවයන් උතුරු අප්‍රිකාවට පැමිණෙන්න ඇත්තේ අවුරුදු 25,000 ත් 15,000 ත් අතර කාලයේය. අයිස් යුගය පැවැති අවදියේ දී මුහුදු මට්ටම අඩු වී, ගොඩබිම් ඉහළට මතු වුණු කාලයේ දී, බේරින් මුහුද පිහිටා ඇති භූමි ප්‍රදේශය තරණය කරමින් හෝමෝ සේපියන් සේපියන්, සයිබීරියාවේ සිට ඇලෙස්කාවට පැමිණෙන්න ඇතැයි විශ්වාස කෙරේ. උතුරු ඇමෙරිකාවෙන් සොයා ගත් පළමු ආදී මානවයන් හැඳින්වෙන්නේ ‘ක්ලෝවිස්’ මිනිසුන් යනුවෙනි. ඒ, අවුරුදු 13,500 ක් අතීතයේය. ඊටත් වඩා පැරැණි මානව විශේෂයන් ද හමුවී ඇත.

ක්‍රෝ මැග්නම්
යුරෝපයේ වාසස්ථාන ඉදි කළ මානවයන් අපි හඳුන්වන්නේ ‘ක්‍රෝ මැග්නම්’ යන නමිනි. හෙල්ල සහ දැල් ආදී ආයුධ සහ ආම්පන්න මෙවුහු භාවිතා කළහ. නිරුවත වසා ගැනීමටත් උණුසුම් වීමටත් සතුන්ගේ ලොම්වලින් සැකැසූ ඇඳුම් දවටා ගත්හ. ක්‍රෝ මැග්නම් මානවයන්ට සරල භාෂාවක් තිබුණි. සංස්කෘතියක් තිබුණි. ලෙන්වල සිතුවම් ඇද්දෝ මොවුහුය. ලොව මුලින්ම පහළ වුණු සිත්තරුන් ලෙස ද ක්‍රෝ මැග්නම් මානවයන් හැඳින්විය හැකිය. නූතන මානවයන් වන අපට සමාන අයුරින් මෙම ක්‍රෝ මැග්නම් මානවයන්ගේ හකු පළල්ව පිහිටා ඇත. නළල සහ හිස පළලින් වැඩිය. නාසය තරමක් විශාලය.

ලුසිත ජයමාන්න
මයිල්ස් ඇන්ඞ් කෙලී
විශ්වකෝෂය ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS