ඇස්වල කතාව



මනුෂ්‍ය අප සහ සත්ව ලෝකයේ බොහෝ දෙනා, අවට ලෝකය දකින ඇස් කොතරම් අපූරු ද විසිතුරු ද කොතරම් විවිධ ද යන්න ගැන අවබෝධයක් ලබා දීමේ අරමුණින් ඬේලිමේල් වෙබ් අඩවිය ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ඔවුන් එම ඡායාරූප ලබා ගෙන තිබුණේ ‘නැෂනල් ජියෝග්‍රැෆික්’ සඟරාවෙනි. ක්ෂීරපායීන්, පක්ෂීන්, උභය ජීවීන් සහ උරගයන්ගේ ඇස් එම ඡායාරූපවලින් දකින්න ලැබෙයි.

නොදන්නා දේ බොහොමයි
මෙම ඇස්වල අපූර්වත්වය විදහා දක්වන ඡායාරූප පළ වී ඇත්තේ ‘නැෂනල් ජියෝග්‍රැෆි’ සඟරාවේ පෙබරවාරි කලාපයේය. ස්වභාදහම ගැනත්, සත්ව ලෝකය ගැනත් ‘අලුත් ඇසකින්’ දකින්න මෙම ඡායාරූප පෙළ සමත් වෙයි. ‘සතකු ලෝකය දකින්නේ මොන විදියටද ? මනුෂ්‍ය අප ලෝකය දකින විදියටද ? ඇස්වලට පෙනෙන දේ උන්ගේ මොළයට දිස්වන්නේ මොන විදියටද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇත්තම අපට විදියක් නැහැ’ යැයි ඇමෙරිකාවේ මේරිලන්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටොම් කොරෝනින් කියයි.

පුදුම කළ ඇස්
ඇස් මනුෂ්‍ය වර්ගයා පුදුමයෙන් පුදුමයට පත් කළේ වසර දස දහස් ගණනාවකට පෙර සිටය. අප ඇස් යනුවෙන් හඳුන්වන ඉන්ද්‍රිය ජීවීන් මැවූ ඒ මහා මැවුම්කරුගේ නිර්මාණයක් යැයි කියන අය නැතුවාම නොවේ. ඒත් විද්‍යාවට අනුව, ජීවීන්ගේ ඇස් පහළ වුණේ පරිණාමයට අනුවය. පෘථිවියේ ජීවය පහළ වී, වසර බිලියන ගණනාවක් තිස්සේ අභියෝගවලට මුහුණ දෙමින් සෙමින් සෙමින් පරිණාමය වෙද්දී, ඇස් නිර්මාණය වන්නට ඇතැයි විද්‍යාඥයෝ පහදා දෙති.

ඇසේ කතාව
අප අවට ඇති දේ දකින්න සලස්වන ඉන්ද්‍රිය ඇස ය. සංවේදී ඉන්ද්‍රියන් අතරින් ඇස තරම් ප්‍රයෝජනවත් දෙයක් තවත් නැත. ඇස ආලෝක කිරණ එක් රැස් කර, සංවේදී පෘෂ්ඨයක් මතට එම කිරණ නාභිගත කරයි. අපට පෙනීම ඇති වන්නේ එහෙයිනි. ඇස අපේ ශරීර බරින් 1/4000 කි. පිරිමියකුගේ ඇස කාන්තාවකගේ ඇසට වඩා තරමක් විශාලය. ගෝලාකාර ඇසේ පිටතට විවෘත වී ඇති 1/3 ක ප්‍රමාණය, මදක් ඉදිරියට නෙරාවිත් ඇත. ඉතිරි කොටස හැඳින්වෙන්නේ අක්ෂි කූපය යනුවෙනි. එය හිස් කබලේත් මුහුණේත් අස්ථිවලින් නිර්මාණය වුණු කුහරයක ආරක්ෂිතව පිහිටා ඇත. ඇසට නළලින් සහ නාසයෙන් ආරක්ෂාව ලැබෙයි. මුහුණට කෙලින්ම පහරක් එල්ල වුවහොත්, එය නාසයේ වදිනවා මිසක් ඇසට හානියක් වන්නේ කලාතුරකිනි. නළල ද ඇස්වලට ඉහළින් වහළක් ලෙස ක්‍රියා කරයි.

ගර්ගොයිල් හූනකුගේ ඇසක්

ගර්ගොයිල් හූනා වඳවීමේ තර්ජනයකට ලක් වී සිටින සත්වයෙකි. මේ හූනා නිව් කැලෙඩෝනියා දූපතට පමණක් ආවේණික සත්වයෙකි. වනාන්තර හෙළි පෙහෙළෙි කිරීමෙන් මේ සත්වයාට උගේ වාසස්ථාන අහිමිවීම වඳවීමට හේතුවී ඇතැයි සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සුරතලේට ඇති කරන සතකු ලෙස ද මේ හූනා  කාලයක් ජනප්‍රි විය.

හෝමෝ සේපියන්, එසේත් නැතිනම් මිනිස් අපේ ඇස

ඇස තරම් විස්මිත ඉන්ද්‍රියක් නොමැත.

වැඩුණු පළා පොළඟකුගේ ඇසක්. කුඩා කාලයේදී මොවුන්ගේ ඇස් සුදු පැහැයක් ගනී. එය  කහ හෝ කොළ පැහැයට හැරෙන්නේ ලොකු වෙද්දීය.

පළා පොළඟා වැසි වනාන්තරවල ජීවත් වෙයි. ඕස්ටේ්‍රලියාවට උතුරු දෙසින් පිහිටා ඇති කුඩා දූපත්වල, නිව් ගිනියාවේත් දකින්න ලැබෙන සර්ප විශේෂයකි.

ස්කාර්ලට් මැකෝ ගිරවකුගේ ඇසක්. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ඇස් සමානය.

ස්කාර්ලට් මැකෝ ගිරවා.

කියුබානු ගල් ඉගුවානාගේ ඇස

ගල් ඉගුවානා වඳවීමේ තර්ජනනයට මුහුණ දී සිටින උරග විශේෂයකි.

ග්‍රවුන්ඞ් හෝන්බිල්

ග්‍රවුන්ඞ් හෝන්බිල් අප්‍රිකාවට ආවේණික පක්ෂියෙකි. පියාඹනවාට වඩා මේ පක්ෂියා වැඩිපුර කාලය ගත කරන්නේ බිම ඇවිදිමිනි. හොඳින් වැඩුණු පිරිමි පක්ෂියකු සෙන්ටි මීටර් 129 ක් දිගින් යුක්තය. බර කිලෝ ග්‍රෑම් 6.2 කි. ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

මොසී ලීෆ් ටේල් හූනකුගේ ඇසක්

මොසී ලීෆ් ටේල් හූනා, සෙ.මී. 10 සිට 30 දක්වා විශාලව වැඩෙන සත්වයෙකි.

නිල් ඇස් ලෙමූරයා

නිල් ඇස් ලෙමූරයන් ජීවත් වන්නේ මැඩගස්කරයේය. මොවුහු ගස්වල කොළ, මල් සහ පලතුරු ආහාරයට ගනිති.

රතු ඇස් ගස් ගෙම්බා

රතු ඇස් ගස් ගෙම්බා දිවා කාලයේ සැඟවී සිටී. ගස්වල කොළ අතරේ සැඟවී සිටින්න මේ සත්වයා හපනෙකි.

පෙනෙන්නේ එහෙමයි
පෙනීම යනු කෙනකු මෙලොව ඉපදීමත් සමඟ දියුණු වන්නකි. කුඩා බිලිඳකුට මුලින්ම පෙනෙන්නේ ආලෝකයක් ඇති හෝ නැති බව පමණි. සිරුරේ අනෙක් ඉන්ද්‍රියයන්ට වඩා වේගයෙන් ඇස් වර්ධනය වෙයි. මේ බව විද්‍යාත්මකව පැහැදිලි කර ඇත.

ද්වී අක්ෂික පෙනීම
බිහිවන විට වැඩිහිටියකුගේ ඇස්වලට සමාන ඇස් බිලිඳකුට නොමැති නමුත්, ද්වි අක්ෂි පෙනමට අවශ්‍ය මූලික පදනම ඒ වනවිටත් ස්ථාපිත වී ඇත. ද්වී අක්ෂික පෙනීම යනුවෙන් හැඳින්වෙන්නේ, යම් කිසි එක වස්තුනක් දෙස, ඇස් දෙකෙන්ම එකවර බැලීමට ඇති හැකියාවය. මෙම හැකියාව නොතිබුණා නම්, එකම වස්තුව, වස්තූන් දෙකක් ලෙස පෙනෙන්න ඉඩ තිබේ.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS