සැත්කම කරද්දී රණ්ඩු වෙලා



ගැබිණි මවකට සිසේරියන් ශල්‍ය කර්මයක් සිදු කරමින් සිටින අතරවාරයේ උණුසුම් වාදයක පැටලුනු වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහලේ බලධාරීහු පවසති.

රෝහල් බලධාරීන් එම පියවර ගෙන තිබෙන්නේ රෝගී මව අසල සිට ඔවුන් දෙදෙනා එකිනෙකාට බැනගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය.

රාජස්තාන් ප්‍රාන්තයේ උමයිඩ් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනාගේ එම හැසිරීම පිළිබඳව කෝපය පළකරමින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබුණි. සැත්කමට භාජනය කරන ලද මව සහ ඇය බිහි කළ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ නිලධාරිනියක් බීබීසීයට පැවසීය.

ශල්‍යාගාරයේදී වෛද්‍යවරුන් දෙදෙනා හින්දි භාෂාවෙන් එකිනෙකාට අපහාස කරගන්නා ආකාරයත්, ගැබිණි මව සැත්කමට පෙර ආහාර ගත්තේ ද යන්න පිළිබඳව උණුසුම් වාදයක පැටලුනු ආකාරයත් වීඩියෝ පටයේ සටහන්ව තිබේ.

ඔවුන් දෙදෙනා වෛද්‍ය අශෝක් නනිවාල් සහ වෛද්‍ය මධුර ලාල් ටක් බව වෛද්‍ය රංජනා දේසායි සඳහන් කළාය.ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා නොමැති බව ද ඇය කියා සිටියාය.

සිදුවීම පිළිබඳව රෝහලේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඒ අතරවාරයේ සිදුවීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රාජස්තාන් ප්‍රාන්ත මහාධිකරණය රෝහල් බලධාරීන්ට නියෝග කර තිබේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS