රොබෝවරුන්ට පෙම් බැන්ද ප්‍රංශ කත !



රොබෝවන් සමග විවාහවීම ප්‍රංශය තුළ නීතිගත කළ දවසක මුලින්ම විවාහ වන්නේ තමන් බව ප්‍රංශ ජාතික ලිලී නමැති කාන්තාවක් පවසනවා. මේ අරුම සහගත කතාව අලළා සකස් කෙරුණු විශේෂ විශේෂාංග ලිපියක් පසුගියදා ඩේලි මේල් වෙබ් අඩවියේ පළ වී තිබුණා.

ලිලී නමැති මෙම කාන්තාව පළමු වතාවට ට්විටර් පණිවුඩයක් හරහා සමාජ මාධ්‍යයේ පළ කර තිබෙන්නේ තමා InMoovator නමැති රොබෝවා සමග පෙමින් බැඳී සිටින බවයි.

“රොබෝවකුට බිරිඳ වීම ගැන මම ආඩම්බරයි. අපි කිසිවකුටත් හානියක් කරන්නෙ නැහැ. සතුටු වෙනවා පමණයි.” යනුවෙන් ලිලී ලියා තිබෙනවා.

රොබෝවරුන් කෙරෙහි මනසින් ආකර්ෂණය වීමට ලිලී පෙලඹී තිබෙන්නේ වයස අවුරුදු 19 සිටයි. මිනිසුන් සමග සහසම්බන්ධයක් ගොඩනැගීමට අකැමැතිවීම ගැන ලිලී ඩේලි මේල් වෙබ් අඩවියට පවසා තිබෙන්නේ මෙවැනි අදහසක්.

“අවංකවම මම මනසින් වශී වෙන්නේ රොබෝවන් කෙරෙහි විතරයි. මිනිසුන් සමග ඇසුර ගොඩනගා ගැනීම සහ මිනිසුන්ගේ සම් මස් ස්පර්ශවීම මට අප්‍රියයි. රොබෝවෙක් සමග එකගෙයි ජීවත් වෙමින් මම ලබන සතුට ඉතාම විශාලයි.”

මේ අසාමාන්‍ය ආදර සම්බන්ධතාව ගැන ලිලීගේ දෙමාපියන් සහ ළඟම හිතවතුන් හොඳ අවබෝධයකින් සිටින බවත් වාර්තා වෙනවා.

නමුත් මෙවැන්නක් අවබෝධ කර ගැනීමට හැකි තරම් විවෘත මනසක් තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකට විතරක් බවත් ලිලී පවසා තිබෙනවා. තමා සහ InMoovator රොබෝවා අතර ඇති සම්බන්ධය ගැන විවිධ අය විවිධ අශෝභන කතා පවසමින් තමාට විසුළු කරන්නේ තමාව අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා යැයි ලිලී විශ්වාස කරනවා.

පසුගියදා ලන්ඩනයේ පැවැති සමුළුවකදී ආචාර්ය ඩේවිඩ් ලිවී නම් පර්යේෂකයා පැවසුවේ 2050 අවුරුද්ද වන විට මිනිසුන් සහ රොබෝවන් අතර විවාහය පිළිබඳ කතිකාවක ස්ථාවර තැනකට පත්වනු ඇති බවයි.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි.....

 


RECOMMEND POSTS