මරණ සහතික හිඟයක්



 නව කොරෝනා වයිරසයෙන් මෙක්සිකෝවට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එරට ඇතැම් ප්‍රාන්තවල ආණ්ඩුවල මරණ සහතික හිඟයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවේන මෙක්සිකෝවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ.

මේ හේතුවෙන් එරට ආසන්න වශයෙන් ප්‍රාන්ත තුනක මරණ සහතික සහ ඒවා නිකුත් කිරීමට අවශ්‍ය ෆෙඩරල් පත්‍රිකාවල හිඟයක් ඇති වී ඇතැයි වාර්තා වේ. දින 15ත් 20ත් අතර කාලයක සිට මෙම හිඟය පවතින බව ද වාර්තා වේ.

මෙලෙස මරණ සහතිකවල හිඟය ඇති වී තිබෙන්නේ බාජා කැලිෆෝනියා, මෙක්සිකෝ ප්‍රාන්තය සහ මෙක්සිකෝ සිටි හෙවත් අගනුවර අයත් ප්‍රදේශයේ යැයි වාර්තා වේ.

ලොව සිවුවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙනි.

මෙක්සිකෝවෙන් අද (6) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 67,326කි. ලොව වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. බ්‍රසීලය එහි දෙවැනි තැනත් ඉන්දියාව එහි තෙවැනි තැනත් පසුවෙයි.

මෙක්සිකෝවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 629,409කි.

මේ අතර නව කොරෝනා වයිරසය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් වැඩිම ගණනක් මරණයට පත්ව ඇති රට වන්නේ ද මෙක්සිකෝවයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 1,300කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉකුත් දා සඳහන් කළේය.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS