බිහාර් වෛද්‍යවරයාට පොලිස් ආරක්ෂාව



ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බගල්පූර් නුවර, ගංගා නදිය අසබඩ පිහිටි ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ, කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ වෛද්‍යවරයකුයට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව හිමිවන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මෙම වෛද්‍යවරයා 42 හැවිරිදි වෛද්‍ය කුමාර් ගෞරව් ය. මොහු ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා පමණක් නොව, රෝහලේ සිටින එකම විශේෂඥ වෛද්‍යවරයා ද වෙයි.

ඇඳන් 900 කින් යුත් වෛද්‍ය විද්‍යාල රෝහල මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඔවුන් බලා ගැනීමට සිටින්නේ වෛද්‍ය කුමාර් ගෞරව් සහ තවත් වෛද්‍යවරුන් කීප දෙනකු සහ හෙද කාර්ය මණ්ඩලය පමණි.
කොරෝනා ආසාදිතයන් වැඩිවෙද්දී රෝහලේ වෛද්‍යවරුන් බොහොමයක් රාජකාරිවලින් ඉවත් වී ඇත්තේ, ඔවුන්ගේ ජීවිත අවදානම ගැන බිය වෙමින් යැයි ද පැවැසෙයි.

රෝහලේ ප්‍රතිකාර ගන්නා කොරෝනා ආසාදිතයන්, රෝහලේ කලහකාරීව හැසිරෙන බවත්, එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් වෛද්‍ය කුමාර් ගෞරව් ට කරදර එල්ල වන බවත් රෝහල් බලධාරීන් ප්‍රාන්ත බලධාරීන්ටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ඒ අනුව, බගල්පූර් වැසියන් වෙනුවෙන් කුමාර් ගෞරව් ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව ප්‍රාන්ත බලධාරීන් තීරණය කිරීමත් සමඟ පැය 24 පුරා වෛද්‍යවරයා අසල රැඳී සිටීමට, පොලිසිය යෙදවිණි.

වෛද්‍ය කුමාර්ගේ උපන් නගරය වන්නේ බගල්පූර් ය. ඔහු වසර 3 ක්, දිල්ලි මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ අතර, ඔහු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ උපන් නගරය බලා පැමිණ ඇත්තේ ආතතිය අඩු නිහඬ දිවියක් අපේක්ෂාවෙන් යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ, ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්යවරයකු සහ විශේෂඥ වෛද්‍ය උපදේශකවරයකු ලෙස සේවය ආරම්භ කරමිණි.

බගල්පූර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS