පෘථිවිය පසු කළ කපාල ග්‍රහකය



විවිධ හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුත් ග්‍රහක නිරන්තරයෙන් පෘථිවිය අසලින් යයි. ඇතැම් ඒවා පෘථිවියට ආසන්නයෙන් ගමන් කරයි. එවැනි ග්‍රහකවලින් පෘථිවියට අනතුරක් සිදුවේවිදැයි තාරකා විද්‍යාඥයෝ සෑම මොහොතකම හොඳ අවධානයකින් පසුවෙති.

පසුගිය දා බටහිර රටවල් හොලොවීන් එසේත් නැතිනම් මළවුන්ගේ දිනය සමරද්දී, ග්‍රහකයක් පෘථිවිය පසුකර ගියේය. මේ ග්‍රහකය පෙනුමින් මිනිස් හිස් කබලක හැඩයක් ගත්තේය. තාරකා විද්‍යාඥයන් පමණක් නොව, පුවත් නාළිකා මෙම ග්‍රහකය නම් කළේ ‘කපාල ග්‍රහකය’ කියාය.

කපාල ග්‍රහකය පෘථිවිය පසුකර ගියේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. හිස් කබලක පෙනුම දකින්න ලැබුණු නිසා විද්‍යාඥයන් මවිතයට පත් වූවා පමණක් නොව, ග්‍රහකය ගැන වැඩිසදුර අධ්‍යයනය කරන්න විය. ග්‍රහකය පෘථිවියට සැතපුම් 302,000 ක් ඈතින් ගමන් කළේය. කපාල ග්‍රහකය යනුවෙන් පමණක් නොව හොලොවීන් ග්‍රහකය යනුවෙන් ද නම් කෙරුණ ද තාරකා විද්‍යාඥයන් ග්‍රහකය නිල වශයෙන් නම් කර තිබුණේ ‘2015ටීබී145’ කියාය. ඊට හේතුව මෙම ග්‍රහකය ගැන මුලින්ම දැනගන්න ලැබුණේ 2015 වසරේදී නිසාය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS