පිලිපීන ජනපතිට කැරපොත්තෙක් කරදර කරලා



මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ට කැරපොත්තකුගෙන් බාධා එල්ලවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

රොඞ්රිගෝ ඩුටරේට්ස් (74) සහභාගී වූ මැතිවරණ රැලිය පැවැත්වූයේ බෝල් ප්‍රාන්තයේය. ජනාධිපති ඩුටරේට්ස්, වේදිකාවේ සිට පහළ ජනතාව අමතද්දී, ප්‍රමාණයෙන් විශාල එම කැරපොත්තා පියාඹාවිත් ජනපතිවරයාගේ වම්පස උරෙස්සේ වසයි.

එය දුටු සැණින්, අසල සිටින ජනපතිවරයාගේ ආධාරකරුවකු පැමිණ කැරපොත්තා එලවා දැමීමට උත්සාහ ගනී. කැරපොත්තෙක් තම ටී ෂර්ටයේ වසා ඇති බව ජනපතිවරයා දැනගන්නේ එවිටය.

ජනපති ඩුටරේට්ස් කැරපොත්තා ඉවත් කිරීමට තැත් කරද්දී අසල සිටින හමුදා සෙබළියක් ද ජනපතිවරයාගේ සහායට පැමිණෙයි. බිමට වැටෙන කැරපොත්තා පාගා දැමීමට ජනපතිවරයා උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වෙයි. මේ සියල්ල එරට රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කරදරකාර එම කැරපොත්තා, පිලිපීන විපක්ෂය නියෝජනය කරමින් තමන්ට බාධා කිරීමට පැමිණි එකෙකු බවත්, ලිබරල්වාදියකු බවත් උසුළුවිසුළු කරමින්, ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් පිලිපීන විපක්ෂයට දෙහි කැපීමට ද අමතක නොකළේය. ජනපතිවරයා පැය දෙකක් පුරාවට කතා කළ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මැනිලා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS