පිටසක්වළින් ලැබුණු සංඥාව



ඇමෙරිකාවේ බටහිර වර්ජීනියා ජනපදයේ ග්‍රීන් බෑන්ක් සහ ඇමෙරිකාවට අයත් කුඩා කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රීකෝහි ඉදිකර ඇති රේඩියෝ (ගුවන් විදුලි තරංග හසුකර ගැනීමට හැකි) දුරේක්ෂ දෙක භාවිතා කරමින් විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි සංඥා ගැන අවධානයෙන් පසුවුණු කැනඩාවේ මොන්ත්‍රියාල් නුවර තාරකා විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා මවිතයට පත්වූහ. 

ඒ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන තුනක් පමණ දුරින් ‘ඔරිගා’ නමැති තරු පංතිය දෙසින්, කෙටි ගුවන් විදුලි සංඥා කිහිපයක් ලැබීමත් සමඟය. මෙම ගුවන් විදුලි සංඥා (රේඩියෝ සංඥා) ආ තැන නිවැරදිව පැවැසීමට තවමත් නොහැකි වුවත්, විද්‍යාඥයන් සැක කරන්නේ මෙම සංඥා බුද්ධිමත් පිටසක්වළ ජීවීන්ගෙන් ආ සංඥා විය හැකි බවය. 

ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමින් සංඥා හසුකර ගැනීමට හැකිවූයේ කැනඩාවේ මොන්ත්‍රියාල් තාරකා විද්‍යාඥයන් පිරිසකටය. මීට පෙර මේ අයුරින් 2007 වසරේදීත් කෙටි මෙන්ම අහඹු ලෙසින් ගුවන් විදුලි සංඥා හසුකර ගැනීමක් සිදුවුණු බව ද එම විද්‍යාඥයෝ පිරිස අනාවරණය කරති. මෙම සංඥා මිලි තත්පරයකට වරක් නිකුත් වී ඇති බව මේ වනවිට සොයා ගෙන ඇති නමුත් එම සංඥා පැමිණි ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව කැනඩා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.

විශ්වයේ බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටී නම්, පෘථිවියේ ජීවත් වන අප ඔවුන් සමඟ සබඳතා පැවැත්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් තර්කවිතර්ක පවතී. ජීවමානව සිටින මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවන්නේ අප පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වී නුවණට හුරු දෙයක් නොවන බවය. කීර්තිමත් භෞතික විද්‍යාඥයකු වන හෝකින්ස් පවසන්නේ, බුද්ධිමත්, දියුණු පිටසක්වළයින් පිරිසක් පෘථිවිය ගැන හෝ පෘථිවියේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින බව දැනගත්තොත්, ඔවුන් පැමිණ පෘථිවිය ආක්‍රමණය කරාවි කියාය. උදාහරණයක් ලෙස එය කොලම්බස් විසින් ඇමෙරිකාව සොයාගත්තා හා සමාන වනු ඇතැයි හෝකින්ස් පැහැදිලි කරයි. දේශගවේෂක කොලොම්බස් යුරෝපයේ සිට පැමිණ ඇමෙරිකාව සොයා ගැනීමෙන් පසු, ඇමෙරිකාවේ විසූ ස්වදේශීය රතු ඉන්දියානුවන්ගේ අවසානය සනිටුහන් විය. රතු ඉන්දියානුවෝ සමූල ඝාතනය වූහ.

 


RECOMMEND POSTS