පරිස්සමෙන් ගිහින් එන්න



හෙල්මට් නොමැතිව, යතුරු පැදියකින් පැමිණි, පියා මව සහ දරු තිදෙනකුට, දඬ නොලියා, වැද ආශිර්වාද කර, ‘පරිස්සමෙන් යන්නැයි’ පැවැසූ පොලිස් නිලධාරියකු සම්බන්ධ ට්විටර් ඡායාරූපයක් ඉන්දියාවේ කතාබහට ලක් වෙමින් පවතී.

සිද්ධිය වාර්තා වන්නේ, ඉන්දියාවේ බෙංගලූරු ප්‍රාන්තයේ, අනන්ත්පූර් දිස්ත්‍රික්කයෙනි. හෙල්මට් නැතිව යතුරු පැදියෙන් පැමිණි මව පියා සහ දරු තිදෙනා ට වැද ආශිර්වාද කරන්නේ බෙංගලූරු රථ වාහන පොලිසියේ පොලිස් නිලධාරී බී. සුභා කුමාර් ය.

එය ඡායාරූපයට නගා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කළේ, බෙංගලූරු රථ වාහන අංශයේ පොලිස් ප්‍රධානී අභිෂේක් ගොයාල්ය. ට්විටර් ගිණුමෙහි වූ ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේ ‘ඉන්දියන් එක්ස්ප්‍රෙස්’ පුවත් සේවයයි.

අභිෂේක් ගොයාල් ඡායාරූපය පළ කරමින් ඊට ‘කැප්ෂනයක්’ ද යොදා තිබේ. ‘පොලිසියේ අප මොනවා කරන්නද? අප හැමෝටම පුළුවන් තෝරා ගැනීම් කරන්න. තෝරා ගන්න ඕනෑ ආරක්ෂාවට මුල්තැන දීම’ යැයි එහි සඳහන් වෙයි.

ඡායාරූපය ගැන පසුව අදහස් දැක්වීමක් කළ පොලිස් ප්‍රධානී අභිෂේක් ගොයාල් මෙසේ පවසා ඇත. ‘පුංචි පවුලක් ආවා යතුරු පැදියේ නැගිලා. තාත්තයි අම්මයි, පුත්තු දෙන්නයි. දියණියයි. එක්කෙනකුටවත් නෑ හෙල්මට්. බෙංගලූරු රථ වාහන පොලිසියේ පොලිස් නිලධාරී බී. සුභා කුමාර් ඔවුන් නැවැත්තුවා.  දඬ ගහනවා කියලා දඬ කොළ කීයක් කියලා ලියන්නද ? ආරක්ෂාව ගැන සිතන අය බොහොම අඩුයි. ඉතිං නිලධාරී සුබා කුමාර් යතුරු පැදියේ සිටි පස් දෙනාට ආශිර්වාද කළා. පරිස්මෙන් ගිහින් එන්නැයි කියමින්. ඊට පස්සේ ඔවුන්ට යන්න දුන්නා. එයයි එදා සිද්ධ වුණේ.’

ගමන් බිමන් සඳහා ඉන්දීය වැසියන්ගේ වඩාත් ජනප්‍රිය වාහනය වන්නේ යතුරු පැදියයි. යතුරු පැදි භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක යතුරු පැදි සඳහා ඇත්තේ ලිහිල් කළ නීතිරීතිය. ආරක්ෂාවට මුල් තැන දී යතුරු පැදි සඳහා හෙල්මට් පැළැඳීම සිදු කරන්නේ ද අතලොස්සක් පමණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS