නිවාස වන්දිවලට දික්කසාද වන චීන ගමක්



චීන ගම්මානයක පවුල් එකසිය හැටක් දික්කසාද වීමට තීරණය කර තිබේ.

එම දික්කසාදයේ අරමුණ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් සිය නිවාස ඉවත් කිරීමෙන් අනතුරුව වැඩි වන්දි මුදලක් ලබා ගැනීමයි.

අධි තාක්ෂණික සංවර්ධන කලාපයක් බිහි කිරීමේ සැලැස්මක් යටතේ චීන රජය ජියැන්ග්සු ප්‍රදේශයේ ගම්මානයක නිවාස කඩා ඉවත් කිරීමෙන් අනතුරුව මෙම ප්‍රශ්නය උද්ගත විය.

පවුලක් වශයෙන් නොව තනිකඩයකු වශයෙන් සිය නිවෙස අහිමි වූ බවට රජයෙන් වන්දි ලබා ගන්නේ නම් පවුලක සැමියාට සහ බිරිඳට නව නිවෙස් දෙකක් සහ ඇමරිකානු ඩොලර් දහනම දහසක අතිරේක වන්දි මුදලක් හිමිවන බව ගම්මානයේ වැසියන්ට දැනගන්නට ලැබී ඇත.

ඒ අනුව අසූ වියේ පසුවන පවුල් පවා දික්කසාද වීමට තීරණය කළ අතර ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ රජයේ වන්දි ලබා ගැනීමෙන් පසු නැවතත් සිය සැමියා හෝ බිරිඳ සමග එකට ජීවත් වීමට අදහස් කරන බවය.

පරම්පරා ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ ජීවත් වූ ඇතැම් පවුල්වලට සිය නිවාස අහිමි වීමෙන් පසු ප්‍රාදේශීය බලධාරීන් විසින් පිරිනැමූ නව නිවාස සංකීර්ණයක නිවෙසක් ලබා ගන්නවා හැරෙන්නට වෙන විකල්පයක් නොවූ බව ගම්මානයේ වැසියෝ පෙන්වා දෙති.

නීතියේ පවතින එම හිඩැස ප්‍රයෝජනයට ගනිමින් ගම්වාසීන්ට වාසි සැලසෙන බව පවසන ජියැන්ග්සු ප්‍රදේශයේ නීතීඥ සමාගමක් එක් දික්කසාදයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් දෙදහසක මුදලක් අය කරමින් සිටින බව 'චයිනා ඩේලි' පුවත්පත වාර්තා කරන බව බීබීසී ය සදහන් කරයි .

තිළිණි ද සිල්වා
බීබීසී ඇසුරෙනි.


RECOMMEND POSTS