දුම්රියක් මංගල ගමනේදීම කැඩිලා



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවර බලධාරීන් අද පළමු වරට සුඛෝපබෝගී මෙට්‍රෝ දුම්රිය සේවයක් හඳුන්වා දුන් අතර, පළමු දුම්රිය ගමනේදීම එම මෙට්‍රෝ දුම්රිය ක්‍රියා විරහිත විය.

දුම්රිය ක්‍රියා විරහිත වීමෙන් මගීන් සියයකට වැඩි පිරිසක් ඒ තුළ සිරවුණු බව ද වාර්තා විය. එම මංගල දුම්රිය ගමන අද (6) උදේ ආරම්භ වෙද්දී, කාර්යාල සේවක සේවිකාවන් සහ පාසල් සිසු දරුදැරියන් දුම්රියට ගොඩ වී ඇත්තේ අලුත් අත්දැකීමක් බලාපොරොත්තුවෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය අක්‍රිය වී ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යැයි පසුව අනාවරණය විය. දුම්රිය අක්‍රිය වෙද්දී, එහි ඇතුළත ආලෝක පහන් නිවී ගියේය. වායු සමීකරණ පද්ධතිය ද අක්‍රිය විය. දොරවල් විවර කිරීමට නොහැකි වීමෙන් හෙයින් මගීහු පැයක් තිස්සේ දුම්රිය තුළ සිරවූහ.

සිරවුණු මගීන් පිටතට ගැනීම සිදුවූයේ තාක්ෂණික නිලධාරීන් සහ දුම්රිය ඉන්ජිනේරුවන් පැමිණ දුම්රිය පිටුපස හදිසි දොරටුව විවර කිරීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS