දිවියෙක් පහරදීලා



භාවනා කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් දිවියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී ඇතැයි ඉන්දියාවෙන් වාර්තා වේ.

භික්ෂූන් වහන්සේ නම භාවනා කරමින් සිට ඇත්තේ බළල් කුලයේ සත්වයන්ට වෙන් කර ඇති ආරක්ෂිත වනාන්තරයක යැයි ද පැවසේ.

බටහිර ඉන්දියාවේ රම්දිගි වනාන්තරයේ භාවනා කරමින් සිට ඇත්තේ ‘රාහුල් වෝකි’ නැමැති භික්ෂූන් වහන්සේය.

භික්ෂූන් වහන්සේ දිවියාගේ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා සිටි බව ද මහාරාෂ්ට්‍ර පොලිසිය සඳහන් කළේය. මේ මාසයේදී එවැනි ප්‍රහාර පහක් පමණ වාර්තා වූ බව ද පොලිසිය සඳහන් කළේය.

රාහුල් හිමියන් සමඟ තවත් දෙදෙනකු භාවනා කරමින් සිට ඇති අතර දිවියාගේ පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගිය බවත් පසුව ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බවත් වාර්තා විය. ඉන් පසු සියලු දෙනා එක්ව භික්ෂූන් වහන්සේ සොයා පැමිණ ඇත. පිරිස භාවනා කරමින් සිටි ස්ථානයට මදක් ඔබ්බෙන් තිබී දැඩි ලෙස තුවාල වී තිබූ රාහුල් හිමියන්ගේ සිරුර හමු වූ බව එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨා පොලිස් නිලධාරියකු වන ක්‍රිෂ්ණා තිවාරි පැවැසීය.

භික්ෂූන් වහන්සේලා වාර්ෂික ආගමික කටයුතු වෙනුවෙන් මෙම වනාන්තර ප්‍රදේශයට පැමිණෙන බවත් නිලධාරීන්ගේ සහ පොලිසියේ උපදෙස් නොතකමින් වනාන්තරය තුළට ගමන් කරන බවත් පොලිසිය තවදුරටත් සඳහන් කළේය.

පසුගිය සඳුඳා ද දිවියකු එල්ල කරන ලද ප්‍රහාරයකින් සාප්පුවක සේවය කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ අතර භික්ෂූන් වහන්සේට ප්‍රහාරය එල්ල කරන ලද්දේ එම දිවියාමද යන්න පැහැදිලි නැති බව ද පොලිස් නිලධාරිහු කීය.

දිවියන්ගේ සහ ව්‍යාඝ්‍රයන්ගේ ප්‍රහාරවලට ලක්වීමෙන් පසුගිය මාසයක කාලයේදී පස්දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වූ බව ද නිලධාරිහු පැවැසූහ.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS