දරුවකු බේරාගන්න උපවාසය අතහැරලා



බිහාර් ප්‍රාන්තයේ මුස්ලිම් තරුණයකු රාමදාන් උපවාසය අත්හැර, හින්දු ජාතික අට හැවිරිදි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ලේ දුන් පුවතක් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

තැලසීමායා රෝගියකු වන රාජේෂ් මේ දරුවා, අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙන්, සදාර් රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. ඒ දරුවාගේ පියා විසිනි. ඔහුට වහා ලේ දිය යුතු යැයි වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූ නමුත් දරුවාට ගැලපෙන ලේ වර්ගය රෝහලේ තිබී නැත.

දරුවාගේ පියා රෝහලේ සිට කිලෝ මීටර් 200 ක් දුරින් පිහිටි ලේ බැංකුවට ගොස් ඔවුන්ට කාරණාව පවසා තිබේ. ඒ අනුව, ලේ බැංකුව, ඔවුන් සමඟ ලියාපදිංචි, අදාල ලේ වර්ගය ඇති අයට ඒ බව දන්වා ඇත.

ලේ බැංකුවේ ලියාපදිංචි, ලේ බැංකුව සමඟ නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන මුස්ලිම් තරුණයකු වන අන්වාර් හුසේන්ට ද මේ බව දැනගන්න ලැබී ඇත. අන්වාර් හුස්නේගේ ලේ වර්ගය දරුවාට නොගැලපුණේය.

අන්වාර් ඔහුගේ මිතුරකු වන ජාවද් අලාම් ට දරුවා ගැන පවසා ඇත්තේ මෙම අවස්ථාවේදීය. රාමදාන් උපවාසය අතහැර වහා රෝහලට ගොස් ලේ දී දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ 30 හැවිරිදි ජාවද් අලාම්ය.

උපවාසය කඩමින්, ජාවද් අලාම් ලේ දීමට සූදානම් බව පවසද්දී වෛද්‍යවරුන් පවා පුදුමයට පත් වී ඇත. ලේ දීමෙන් පසු අලාම්ට පළතුරු යුෂ වීදුරුවක් සහ ආහාර ලබා දීමට වෛද්‍යවරු කටයුතු කළහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS