චීන කාන්තාව ගුවන් යානයට කළ හදිය



අද්භූත විශ්වාසයන් අදහන වයස්ගත චීන ජාතික මගී කාන්තාවක් ආරක්ෂාව පතා ගුවන් යානයක ඇන්ජිමට කාසි විසිකරනු ලැබීමක් නිසා ගුවන් ගමනක් ප්‍රමාද කිරීමට සිදු වූ බව දකුණු චීන ගුවන් සමාගම‌ පවසයි.

අසූ වියැති මහළු කාන්තාව පසුගිය ඉකුත් 27 ගුවන් යානයකට නැගීම සඳහා ධාවන පථය ඔස්සේ ගමන් ගනිමින් සිටියදී දකුණු චීන ගුවන් සමාගමට අයත් යානයේ ඇන්ජිමට සිය අතෙහි තබාගෙන සිටි මාරු කාසි විසිකර ඇත.කාන්තාව කාසි නවයක් විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇත.

එහෙත් එම එක කාසිය ගුවන් මගීන් 150ක් යානයෙන් ඉවත් කිරීමට සහ ගුවන් ගමන පැය කීපයකින් ප්‍රමාද කිරීමට ප්‍රමාණවත් විය.වෙනත් ගුවන් මගියෙක් එම කාන්තාවගේ "පඬුරු පිදීම" ෂැන්හයි පුඩොන් (Shanghai Pudong ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව අදාළ බලධාරීහු වහාම පියවර ගනිමින් පොලිසිය කැඳවනු ලැබ ඇත.

ඒ අනුව මහළු කාන්තාවගේ ගමන් සගයන්ව සිටි ඇයගේ සැමියා, දියණිය සහ බෑනා ගුවන් යානයෙන් පිටතට රැගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණි.පොලිසියේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් එම කාන්තාව "ආරක්ෂාව උදෙසා යාඥා කරමින්" ගුවන් යානයේ ඇන්ජිමට 'පඬුරු කාසි' විසිකළ බව පිළි ගත්තාය.

අනතුරුව ගුවන් ගමනේ ආරක්ෂාව උදෙසා පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කාන්තාව විසින් විසි කරන ලද චීන 'යුආන්' 1.7 ක කාසි හමු වූ බව පොලිසිය පවසයි.එම කාන්තාවගේ අසල්වැසියකු පවසන පරිදි අනුව ඇය බෞද්ධ කාන්තාවකි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS