කොරෝනාවලින් බේරුණු බ්‍රිතාන්‍ය ජාතිකයාට නයෙක් ගහලා



මැලේරියා, ඩෙංගු සහ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ ඉන්දියාවේ වෙසෙන බ්‍රිතාන්‍ය ජාතික සමාජ ක්‍රියාකාරියකුට රාජස්ථානයේ දී උග්‍ර විෂ නාගයකු දෂ්ට කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වර්තා කළේය.

ඉයන් ජෝනාස් නමැති මෙම බි්‍රතාන්‍ය ජාතිකයාට නාගයා දෂ්ට කර ඇත්තේ රාජස්ථානයේ ජෝද්පූර් දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයකදීය. රාජ්‍ය නොවන සංවිධාන කීපයකට සම්බන්ධ සමාජ ක්‍රියාකාරියකු වන මෙම පුද්ගලයා, ජෝද්පූර් දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවලට පාසල් උපකරණ බෙදා දීමට ගොස් සිටිද්දී මෙම අකරතැබ්බට මුහුණ පා ඇතැයි පැවැසෙයි.

කඩිනමින් රෝහල්ගත කර ප්‍රතිවිෂ ලබා දී ඉයන් ජෝනාස් මරණයෙන් බේරා ගැනීමට හැකිවුණු නමුත් ඔහු තවමත් සියයට සියයක් සුවය ලබා නොමැති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති.

ඉයන් ජෝනාස් ඉන්දියාවේ රැඳී සිටින්නේ ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද සමඟ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉයන් ජෝනාස් මැලේරියා සහ ඩෙංගු ආසාදිතයකු වූයේත්, කොරෝනා ආසාදිතයකු වූයේත් ඉන්දියාවේ රැඳී සිටිද්දීය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS