කෘත්‍රිම බුද්ධියක් ප්‍රවෘත්ති කියලා



චීන රජයේ නිල පුවත් සේවය වන්නේ ‘ෂින්හුවා’ ය. ෂින්හුවා පුවත් සේවයට පසුගිය දා, අලුතින් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදයන් දෙදෙනකු බඳවා ගන්නා ලදී. එය රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලායේ සන්ධිස්ථානයක් විය. ඊට හේතුව, මේ නිවේදකයන් දෙදෙනා, පරිගණක ඇසුරින් පණ ලැබූ, කෘත්‍රිම බුද්ධියකින් මෙහෙයවනු ලබන නිවේදකයන් දෙදෙනකු වීමය.

මේ නිවේදකයන් දෙදෙනා ටයිකෝට් පැළඳ ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි. සජීවීව විකාශයන වන වීඩියෝ දසුන් අධ්‍යයනය කර, ඒවා හඳුනා ගැනීමෙන් පසු, පළපුරුදු ප්‍රවෘත්ති නිවේදකයන් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට මෙම කෘත්‍රිම බුද්ධි නිවේදකයන් දක්ෂ බව ෂින්හුවා පුවත් සේවය පැහැදිලි කරයි.

මෙම කෘත්‍රිම බුද්ධි පරිගණක නිවේදකයන් දෙදෙනා නිර්මාණය කර ඇත්තේ ෂින්හුවා පුවත් සේවයට සම්බන්ධ එහි ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනකු පාදක කරගනිමිනි. එම මාධ්‍යවේදීන් දෙදෙනා ඉංග්‍රීසි බසින් පුවත් ඉදිරිපත් කරන ෂැංග් සාහෝ සහ චීන බසින් පුවත් ඉදිරිපත් කරන ක්වී හාඕය. ෂින්හුවා පුවත් සේවය ඔවුන්ගේ පරිගණක තාක්ෂණ ශිල්පීන්ගේ සහාය පමණක් නොව, ‘සෝගෝ ඩොට් කොම්’ නමැති පරිගණක සෙවුම් යන්ත්‍ර නිර්මාණ සමාගමේ ද සහාය ලබාගෙන ඇතැයි පැවැසෙයි.

මෙම කෘත්‍රිම බුද්ධි නිවේදකයන් දෙදෙනා පළමු වරට පුවත් ඉදිරිපත් කළේ ෂිජියැං පළාතේ වූසෙන් හි පැවැත්වුණු පරිගණක තාක්ෂණ සමුළුවේදීය. ‘ආයුබෝවන්. මම කෘත්‍රිම බුද්ධියකින් සමන්විත ඉංග්‍රීසි පුවත් නිවේදකයෙක්. ෂින්හුවා පුවත් සේවය වෙනුවෙන් මම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි. මාව නිර්මාණය කර තිබෙන්නේ සහ මගේ හඬ ෂින්හුවා පුවත් සේවයට සම්බන්ධ මාධ්‍යවේදී  ෂැංග් සාහෝ අනුකරණය කරමින්.’ යැයි කෘත්‍රිම බුද්ධි නිවේදකයා පැවැසීය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS