ආයුර්වේද ඔසුවක්: ගව මුත්‍ර පානය



මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ නන්දෙසින්, පළමු කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ, බටහිර බෙංගාල ප්‍රාන්ත සභාපති දිලීප් ගෝෂ්, ප්‍රාන්තයේ හින්දු වැසියන්ටත්, ඉන්දියාව පුරා සිටින හින්දු වැසියන්ටත් අපූරු ඔවදනක් දුන්නේය. ඒ ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයෙන් බේරීමටය. ‘කොරෝනාවලින් බේරෙන්න ගව මුත්‍ර බොන්න’ එම ඔවදනය.

‘මේ ඉන්දියාව. ක්‍රිෂ්ණා උතුමන්ගේ භූමිය. අප ගවයන්ට වන්දනාමාන කරනවා. ගව මුත්‍ර බීමෙන් නිරෝගීව සිටින්න හැකියාව ලැබෙනවා යැයි මා කියද්දී බොහෝ දෙනා හිනා වෙනවා. ඒත් ඒක විහිළුවක් නොවෙයි’ යැයි දිලීප් ගෝෂ් පැහැදිලි කළේය. ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස, අතීතයේ පටන් හින්දු වැසියන් ගව මුත්‍ර පානය කිරීම අරුමයක් නොවෙයි. හින්දු වැසියන්ගේ විශ්වාසය, ගව මුත්‍ර පානය කිරීමෙන් ඔවුන්ගේ සිරුරු පිරිසුදුවන බවය. ආත්මය පිරිසුදුවන බවය. හින්දු භක්තිකයන්ට ගවයා පූජනීය සත්වයෙකි. ගවයන් මරන්නේ හෝ ගව මස් අනුභව කරන්නේ හෝ නැත. එසේ කිරීම මහා පාපයකි. ඉන්දියානුවන් බොහෝ දෙනකුගේ ජීවනෝපාය වන්නේ ද ගවයාය.

ගව මුත්‍ර පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ යන බවත්, වයිරස සහ බැක්ටීරියා ආසාදනවලින් වැලැකී සිටිය හැකි බවත් පැවැසෙයි. ගව මුත්‍ර පානය කිරීමෙන් සුවය ලැබූ පිළිකා රෝගීන් ද ඉන්දියාවේ සිටින බව පැවැසෙයි. උණ රෝග, ලාදුරු, චර්ම රෝග, ඇදුම, වකුගඩු රෝග ආදියට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස ගව මුත්‍ර පානය කෙරේ. ඉන්දියාවේ ප්‍රධාන ආයුර්වේද සමාගම වන ‘පාටාංජලී ආයුර්වේද’ ගව මුත්‍ර ඇසුරුම් කර විකුණයි.

ගව මුත්‍රවලින් රෝග සුවවීම සහ ප්‍රතිශක්තිය වර්ධනය වීම, බටහිර වෛද්‍යවරුන් පිළිගන්නේ නැත. ගව මුත්‍ර බීමෙන් කොරෝනාවලින් බේරීමට හැකියාවක් නැති බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති. අද ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එම ආසාදිතයන් අතර ද කොරෝනාවලින් බේරීමට ගව මුත්‍ර පානය කළ හින්දු වැසියෝ ද වෙති. කොරෝනාවලින් බේරීමට ගව මුත්‍ර පානය කර, රෝගී වූ පුද්ගලයන් ගැන ද වාර්තා වෙයි.

ගව මුත්‍ර විෂබීජනාශක දියරයක් ලෙස ද භාවිතයට ගනී. රාජස්ථානයේ සෞඛ්‍ය අමත්‍යාංශය සෘජුව මැදිහත් වී, ඉන්දීය රුපියල් මිලියන 40 ක් (ඇමෙරිකන් ඩොලර් 560,000) වැය කොට ගව මුත්‍ර පිරිපහදු කම්හලක් ජල්හෝර් නුවර පිහිටුවා ඇත්තේ ඒ සඳහා ය. ඉන්දියාවේ පමණක් නොවෙයි, මියන්මාරයේ, නේපාලයේ සහ නයිජීරියාවේ ද ගව මුත්‍ර ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙයි. අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, කුඩා දරුවන්ගේ වලිප්පුවට පාරම්පරික ඔසුවක් ලබා දෙයි. එම ඔසුව තැනීමට දුම්කොළ, සුදුළුෑනු, දෙහි යුෂ, වෙඩි ලුණු සහ ගව මුත්‍ර යොදා ගනී. කෙසේ නමුත් වලිප්පුවෙන් පෙළෙන දරුවන් බොහෝ දෙනතු මියයෑමට මෙම ප්‍රතිකර්මය හේතුවක් වී ඇති බව ලේක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. එම දරුවන් මියගොස් ඇත්තේ ස්වසන අපහසුතා හේතුවෙනි.

ඩිස්කවරි නාළිකාවේ, වීර වික්‍රමවල යෙදෙන, බෙයා ග්‍රිල්ස්ගේ ‘ඉන්ටු ද වයිල්ඞ්’ රූපවාහිනී වැඩසටහනට එක් වූ නවතම බොලිවුඞ් තරුව ආක්ෂේ කුමාර්ය. බෙයා ග්‍රිල්ස්ගේ සහ ආක්ෂේ කුමාර් සහභාගී වූ ‘ඉන්ටු ද වයිල්ඞ්’ වැඩසටහන පසුගිය දා ඩිස්කවරි නාළිකාවෙන් විකාශය විය. ලොව බොහෝ දෙනා එය ආසාවෙන් නැරැඹූ බව ද පැවැසෙයි. ජලය නොමැතිව වනාන්තරයේ අතරමං වුවහොත්, දිවිගලවා ගැනීමේ උපක්‍රමයක් ලෙස, අලි බෙටි මිරිකා, බීමක් සකස් කර ගන්නා අයුරු බෙයා ග්‍රිල්ස්, ආක්ෂේ කුමාර්ට කියා දෙයි. ආක්ෂේ කිසිදු පැකිළීමකින් තොරව, අලි පෙටි බීම පානය කරන්නේ ‘අපූරුයි’ කියමිනි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. ඒ, ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ය. බොලිවුඞ් නිළි හුමා කුරේෂී එම අවස්ථාවේදී ආක්ෂේගෙන් ‘අලි බෙටි පානය’ ගැන විමසුවාය. ආක්ෂේ කියා සිටියේ තමන් ආයුර්වේද ප්‍රතිකර්මයක් ලෙස දිනපතා ගව මුත්‍ර පානය කරන බවය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS