අලුත උපන් බිලිඳා අත්තම්මා බලන්න ඇවිල්ලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සති ගණනක් තිස්සේ නිවසට කොටු වුණු 92 හැවිරිදි අත්තම්මා කෙනකුට පළමු වරට ඇගේ මී මිණිබිරිය දැක ගැනීමට අවස්ථාවක් උදා විය.

ලොක්ඩවුන් තහංචි හේතුවෙන් එක්සත් රාජධානියේ වැඩිහිටි පුද්ගලයන්ට නිවෙස්වලින් පිටතට යෑම තහනම් වන අතර, තරුණ  තරුණියන් වෙනුවෙන් පමණක් තහංචි ලිහිල් කර ඇතැයි පැවැසෙයි.

ලීඞ්ස් පළාතේ හෝස්ෆෝත් පදිංචි ජොන් කාට්රයිට් නමැති මෙම අත්තම්මා ද සති ගණනක් තිස්සේ නිවසේ කොටු වී සිටින තැනැත්තියකි. ඇගේ මුණුපුරු විල් සහ ඔහුගේ බිරිඳ ජෙන්, අලුත උපන් බිලිඳිය හෝලි ද රැගෙන අත්තම්මාගේ නිවස අසලට ගොස් එළියේ සිට උඩු මහලේ සිටි අත්තම්මාට බිලිඳිය දැක ගැනීමට ඉඩ සැලැස්වූහ.

ජනෙල් වීදුරුව හැර සිනාමුසු මුහුණින් අත්තම්මා මී මිණිබිරිය හෝලි පළමු වරට දුටු ඒ සංවේදී අවස්ථාවේ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. හෝලි උපත ලබා ඇත්තේ පසුගිය මාර්තු 13 වැනිදාය.

ඒ, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, එක්සත් රාජධානිය ලොක්ඩවුන් කිරීමට පෙරය. අග්‍රාමාත්‍ය ජොන්සන් ප්‍රමුඛ රජය මේ වනවිට ලොක්ඩවුන් තහංචි ඉවත් කරමින් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ලන්ඩනයේදීය (ද සන් වෙබ් අඩවිය ඇසුරිනි)


RECOMMEND POSTS