අභ්‍යවකාශයෙත් රියැලටියක්



අභ්‍යවකාශය මුල්කොට ගනිමින් ද තරඟකාරී රියලටි වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානමක් පවතී. මෙය ඇමෙරිකාවේ ‘ස්පේස් හීරෝ මීඩියා’ ආයතනයේ අපූරු අදහසකි. රියැලටි තරඟය නම් කර ඇත්තේ ‘ස්පේස් හීරෝ’ එසේත් නැතිනම් ‘අභ්‍යවකාශ වීරයා’ යන නමිනි.

‘ස්පේස් හීරෝ’ තරඟයේ දී සිදුවන්නේ තරඟකරුවන් නාසා ආයතනය යටතේ ගගනගාමීන් ලෙස පුහුණුවක් ලැබීමය. ඔවුන්ට අභියෝග රැසක් ජය ගැනීමට සිදුවනු ඇත. සාමාන්‍යයෙන් නාසා ගගනගාමීන්ට ලැබෙන්නේ එසේ මෙසේ පුහුණුවක් නොවෙයි. එම පුහුණුව තරඟකරුවන්ට ද හිමිවෙයි. කායිකව සහ මානසිකව දරා ගැනීමේ ශක්තිය ඇති තරඟකරුවන් පමණක් ඉදිරිවටවලට තේරෙයි. අවසන් වටයෙන් එක් තරඟකාරියක හෝ තරඟකරුවකු ‘ස්පේස් හීරෝ’ ලෙස ජයග්‍රහණය කරනු ඇතැයි ස්පේස් හීරෝ මීඩියා ආයතනයේ මාටි පොම්පැඩෝර් පැහැදිලි කර තිබේ. ලොව නන්දෙසින් මෙම තරඟවලියට තරඟකරුවන් සම්බන්ධ කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

‘මේක තවත් එක රියැලටි වැඩසටහනක් නොවෙයි. රියැලටි වැඩසටහන් අතරේ නිම්වළලු පුළුල් කරන ජනප්‍රියතම රියලැටි වැඩසටහන මෙය වේවි නිසැකයි. ගගනගාමියකු නොවුණත්, ගගනගාමියකු හෝ ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට යන්න කැමැති කාන්තා පිරිමි ඕනෑම අයකුටම තරඟ වදින්න අවස්ථාවක් හිමිවේවි. ඉදිරි වසර කීපයේ තරඟකරුවන් තෝරා ගැනීම සිදු කරනවා’ යැයි පොම්පැඩෝර් වැඩි දුරටත් කියා සිටී. අද අප රටේ ද අතිශය ජනප්‍රිය රියැලටි වැඩසටහන් බොහොමයක් ඇමෙරිකා නිෂ්පාදනවල අනුකරණයන්ය.

අවසන් වටයට යන තරගකරුවන් අතරින් ‘අභ්‍යවකාශ වීරයා’ තෝරා ගැනෙන්නේ විනිසුරුවරුන් නොව, නරඹන්නන්ගේ කැමැත්ත අනුවය. ඒ අනුව, ජයග්‍රහණය කරනු ලබන තරඟකරු හෝ තරඟකාරිය ස්පේස් එක්ස් සමාගමේ ‘ඩ්‍රැනග්’ ගගන කැප්සියුලය සහ රොකට් ආධාරයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යයි. ජයග්‍රහණය වෙනුවෙන් ලැබෙන ත්‍යාගය එයයි. තරඟකරු හෝ තරඟකාරිය දින 10 ක් අභ්‍යවකාශයේ රැඳී සිටිනු ඇති අතර, එම දින 10 ඇතුළත ඔහුගේ හෝ ඇයගේ දෛනික කටයුතු සහ අත්දැකීම් නරඹන්නන්ට ලබා දීමට ද ස්පේස් හීරෝ මීඩියා ආයතනය සූදානම් වෙයි.

‘ස්පේස් හීරෝ’ රියැලටි වැඩසටහන ඇරැඹෙනු ඇත්තේ 2023 වසරේදීය. ඒ, නාසා ආයතනය කාන්තා ගගනගාමිනියක සඳට යැවීමේ මෙහෙයුම ආරම්භ වීමට වසරකට පෙර ය. නාසා ආයතනය, ඇක්සියොම් ස්පේස් සහ ස්පේස් එක්ස් සමාගම සමඟ එක් වී ‘ස්පේස් හීරෝ’ රියැලටි වැඩසටහන පවත්වනු ඇත. ඇක්සියොම් ස්පේස් ආයතනය ගගන කටයුතුවලට සම්බන්ධ පෞද්ගලික සමාගමකි. ‘ස්පේස් එක්ස්’ ද පෞද්ගලික සමාගමකි. නාසා ආයතනය ගගනගාමීන් උඩු ගුවනට යැවීමට යොදා ගන්නේ ස්පේස් එක්ස් සමාගම විසින් නිපදවනු ලැබ ඇති යළි යළි භාවිතයට ගැනෙන ඩ්‍රැගන් කැප්සියුලයයි. ඩ්‍රැගන් කැප්සියුලය උඩු ගුවනට ගෙන යනු ලබන්නේ ද ස්පේස් එක්ස් සමාගම නිපදවූ රොකට්ටුවක ආධාරයෙනි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS