අධික අවුරුද්දේ උපන් අත්තම්මට 25 යි



මෙම 2020 වසර අධික අවුරුද්දකි. පෙබරවාරි මාසයට ඇත්තේ දින 29 ක් පමණය.

එංගලන්තයේ හැම්ස්පියර් ප්‍රාන්තයේ පෝට්ස්මවුත් නගරයේ පදිංචි මී මිත්තණියක පසුගිය දා ඇගේ 100 වැනි උපන් දිනය සැමරුවාය. එහෙත්, අධික අවුරුද්දක උපත ලැබූ බැවින් ඇගේ වයස අවුරුදු 25 කි.

මේ මී මිත්තණිය ඩොරිස් ක්ලෙයිෆ් ය. 100 යි යනුවෙන් සටහන් කළ කේක් ගෙඩියක ඉටි පන්දම් පිඹ නිවා දමමින්, ඩොරිස් ඇගේ උපන් දිනය සැමරුවේ ඇගේ පවුලේ දරු දැරියන් මී මුණුපුරු මිණිපිරියන් පිරිවරා ගනිමිනි.

‘ජනප්‍රිය වෙන්න ජීවිතය පුරාවට මා ආසා කළ දෙයක්. අද මට ඒකට අවස්ථාව උදා වුණා. 100 වැනි උපන් දිනයත් සමඟ මා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.’ යැයි ඩොරිස් පැවැසුවාය.

ඩොරිස් විශ්‍රාමික කොණ්ඩා සරසන්නියක ලෙස සේවය කළ තැනැත්තියකි. ඩොරිස්ගේ සැමියා මියගොස් ඇත්තේ මීට අවුරදු 41 කට පෙර 1979 දීය. එදා පටන් ඩොරිස් ජීවත් වී ඇත්තේ ඇගේ එක් දියණියක සමඟ ඇගේ නිවසේය. ඒත් ඒ දියණිය පසුගිය වසරේ හදිසියේ මියගොස් ඇත.

‘අවුරුදු 100 ක් ඉන්න ලැබේවි මා කවදාවත් හිතුවේ නැහැ. මගේ අම්මා මියයද්දී මා හරිම පුංචියි. මගේ අම්මාගේ අම්මා මියගියේ අවුරුදු 47 දී. මට සොහොයුරියක් සිටියා ඇය මියගියා අවුරුදු 98 දී. අවුරුදු 100 ක් ලැබුවා කියලා මට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ’ යැයි ඩොරිස් වැඩි දුරටත් කියා සිටී.

තමන්ට අවුරුදු 100 ක් ඉන්න වාසනාව ලැබුණේ තමන් හැමවිටම ආදරෙන් සහ සතුටින් සිටිනා කෙනකු නිසා යැයි ද ඩොරිස් වැඩිදුරටත් පවසා ඇත.

බ්‍රිතාන්‍ය පුවත් ඇසුරිනි


RECOMMEND POSTS