9/11 දා 9:11 ට උපන් දැරිය



අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකටත්, යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයටත් එම යානා කඩා වැටෙන්න සලස්වමින් පහර දුන්නේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය.

ලොව සසල කරමින්, ඇමෙරිකානුවන් දණ ගැස්වීමට අල් කයිඩා ත්‍රස්තයන් කළ මෙම කුරිරු ප්‍රහාරය හැඳින්වෙන්නේ 9/11 ප්‍රහාරය යනුවෙනි.

අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී පසුගිය 9/11 වැනිදාට වසර 18 ක් ගත විය. එදා සැමරුම් උත්සව රැසක් ද සිදුවිය. ඒ සියල්ල අතරතුරේ, 9/11 වැනිදා, රාත්‍රී 9/11 ට, උපන් රාත්තල් 9 යි අවුන්ස 11 ක් බර බිලිඳියක ගැන ද ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ක්‍රිස්ටිනා බ්‍රවුන් යනුවෙන් නම් කළ මේ බිලිඳිය උපත ලබා ඇත්තේ ටෙනීසි ජනපදයේ ජර්මන් ටවුන් නුවර ලෙබොන්හර් මෙතොදිස්ත රෝහලේදීය. මව කැම්ටි්‍රයෝන් මෝර් බ්‍රවුන් අලුත උපන් තම බිලිඳිය ‘පුංචි හාස්කමක්’ යනුවෙන් හඳුන්වා දී ඇත.

බිලිඳිය උපන් වෙලාව සහ ඇගේ බර 9/11 ට සමාන බව වෛද්‍යවරුන් ට අවබෝධ වී ඇත්තේ ද දරු ප්‍රසූතිය සිදුවී පැය කීපයකට පසුවය. බිලිඳිය උපත ලබා ඇත්තේ සිසේරියන් සැත්කමකින් යැයි ද පැවැසෙයි.

‘වෛද්‍යවරයා දියණිය උපන් වෙලාව අපට දැනුම් දෙද්දී මම පුදුමයට පත් වුණා. මගේ පුදුමය දෙගුණ වුණේ ඇගේ බරත් 9/11ක් වූ හින්දයි’ යැයි බිලිඳියගේ පියා ජස්ටින් බ්‍රවුන් මාධ්‍ය හමුවේ කියා සිටී.

(බී.බී.සී.)


RECOMMEND POSTS