සජීවීව වයිරස පරීක්ෂණයක්



ඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ, සජීවීව රූපවාහිනියෙන් නිව්යෝක් ජනපද වැසියන් අමතමින්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය.

ආණ්ඩුකාරවරයා මෙසේ සජීවී රූපවාහිනිය ඔස්සේ වෛද්‍ය පරීක්ෂණයට යොමු වූයේ, නිව්යෝක් ජනපදයේ සෑම වැසියකුම මෙම පරීක්ෂණය කර ගත යුතු බව අවධාරණය කරමිනි.

ආරක්ෂක ඇඳුමින් සැරැසී මුහුණු ආවරණයක් පැලඳි නිව්යෝක් හෙදියක් පැමිණ ආණ්ඩුකාරවරයාගේ සෙම සාම්පල රැස් කරන අයුරු සජීවීව දකින්න ලැබුණි.

චීනයෙන් පසු වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ නිව්යෝක් නගරය අයත් නිව්යෝක් ජනපදයේය. ආණ්ඩුකාරවරයා සෑම දිනකම මෙසේ සජීවී රූපවාහිනී වැඩසටහනක් පවත්වයි. ඒ නිව්යෝක් ජනපදයේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි. 

‘හෙට දිනයේ මම සජීවීව ඔබ හමුවට ආවේ නැතිවම්, එයින් අදහස් වන්නේ මා කොවිඞ් 19 ආසාදිතයෙක්.’ යැයි වෛද්‍ය පරීක්ෂණයට යොමු වීමෙන් පසු ආණ්ඩුකාරවරයා විහිළුවක් ද කළේය. නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ, වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙමින් පෙන්වා දුන්නේ, නිව්යෝක් නුවර වැසියන් පමණක් නොව, නිව්යෝක් ජනපද වැසියන් වෛද්‍ය පරීක්ෂණයට යොමු විය යුතු බවය. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද ඔබ ආසාදිතයකු විය හැකි බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

නිව්යෝක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS