වසර10 ක් ඇඳේ සිට පාසලක් බලන විදුහල්පතිනියක්



අංශභංග තත්ත්වයකට පත් වී, වසර 10 ක් තිස්සේ රෝහල් ඇඳකට සීමා වී සිටින විදුහල්පතිනියක ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
64 හැවිරිදි වියෙහි පසුවන ඌමා ෂර්මා නමැති මෙම විදුහල්පතිනිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂරනපූර් නගරයේ පෞද්ගලික පාසලක විදුහල්පතිනියයි.

අංශභංග තත්ත්වයට පත් වී සිටින අයට චලනය කළ හැක්කේ අත් දෙක සහ හිස පමණක් යැයි වෛද්‍යවරු කියති. ඇය පසුගිය 10 වසර පුරාවට නැවැතී සිටින්නේ පාසලට කිලෝ මීටර් 5 ක් පමණ දුරින් පිහිටි පෞද්ගලික රෝහලකය.

ඌමා ෂර්මා අංශභංග තත්ත්යට පත් වී ඇත්තේ ද පාසලේ විදුහල්පතිනිය ලෙස රාජකාරි කරද්දීය. රෝහල් ගතවි සිටින ඇය විදුහල්පති ධුරයේ රැඳී සිටිමින්, සිය රාජකාරි අකුරට ඉටු කරන්නේ අන්තර් ජාලයේ සහාය ඇතිවය.

ඇය ටැබ් යන්ත්‍රකින් පාසලේ කටයුතු මෙහෙයවයි. පාසලේ ආරක්ෂක කැමරා පද්ධතියේ දසුන් නරඹයි. වයිබර් තාක්ෂණය ඔස්සේ ගුරු මණ්ඩලය සිසුන් ඇමැතීම සිදු කරයි. පාසලේ සියලු කටයුතු ඇය රෝහල් ඇඳේ සිට නව තාක්ෂණයේ ආධාරයෙන් නිසි පරදි සිදු කරන බව පාසලේ පරිපාලන මණ්ඩලය කියයි.

පාසලේ ගුරුවරුන් පමණක් නොව සිසු දරුදැරියන් ද ඔවුන්ගේ විදුහල්පතිනිය ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරන බව මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ, ඇයගේ ධෛර්යය සහ ගුරු වෘත්තියට ඇති කැපවීම තමන්ට ආදර්ශයක් කියාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS