ලෝකයේ ලොකුම මල පිපිලා



මේ ලෝකයේ ලොකුම මල ගැනය. සතියක පමණ කාලයක් මෙම මල පිපී තිබෙනු දකින්න ලැබේ. ලෝකයේ ලොකුම මල වුණත් මේ මල සුවඳ විහිදුවන්නේ නැත. මේ මලෙන් විහිඳෙන්නේ සුවඳක් නොව දැඩි අප්‍රසන්න ගන්ධයකි.

‘රැෆ්ලේසියා තුවාන් මුදේ’ ලෝකයේ ලොකුම මලේ නම එයයි. ‘රැෆ්ලේසියා’ ශාකයේ ‘රැෆ්ලේසියා’ මලක් හටගන්නේ ඉතා කලතුරකිනි. ‘රැෆ්ලේසියා’ දකින්න ලැබෙන්නේ ඉන්දුනීසියාවේ වැසි වනාන්තරවලිනි. පසුගිය තුන්වැනිදා බි්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ ‘රැෆ්ලේසියා’ මලක් පිළිබඳ සටහනක් පළවිය.

මේ මල පිපී තිබෙනු දකින්න ලැබී ඇත්තේ ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ, නගාරායි බරීනී නමැති ගම්මානයට නුදුරින් වැසි වනාන්තරයේය. ලෝකයේ විශාල මල වුණත් ‘රැෆ්ලේසියා’ මලෙන් නිකුත් වන්නේ ගඳකි. එය කුණු වුණු මස්වලින් හමන ගඳට සමානය. සුවඳ නැති නිසා ‘රැෆ්ලේසියා’ මලට සමනලුන් හෝ මී මැස්සෝ හෝ ඇදී එන්නේ නැත. සමනලුන් මී මැස්සන් නැති වුණත්, කුණු වුණු මළ සිරුරුවලට ඇදී නිල මැස්සන් කුරුමිණියක් ඇතුළු කෘමීන් රැසක් ‘රැෆ්ලේසියා’ ගඳට ආකර්ෂණය වෙයි. පරාගනයක් සිදුවන්නේ ඒ හරහාය. ‘රැෆ්ලේසියා’ පවුලට අයත් මල් රැසකි. ලොව ලොකුම මල ලෙස සැලකෙන්නේ තද රතු පැහැයක් ගන්නා ‘ ‘රැෆ්ලේසියා තුවාන් මුදේ’ ය.

නගාරායි බරීනී ගම්මානයට නුදුරින් වැසි වනාන්තරයේ පිපුණු ‘රැෆ්ලේසියා’ මල සම්බන්ධයෙන් ඉන්දුනීසියානු උද්භිද විද්‍යාඥයෝ හුඟක් උනන්දු වූහ. ඔවුහු මල නැරැඹීමට තෙත බරිත වනාන්තරයට ගියහ. මල ගැන ඔවුන්ට දැනගන්න ලැබුණේ ගෝත්‍රික වැසියන්ගෙනි. විද්‍යාඥයෝ මල මැන බැලූහ. එහි විෂ්කම්භය අඩි 3 විය. සතියක් ගත වෙද්දී, දීප්තිමත් රතු පැහැයක් ගත් ‘රැෆ්ලේසියා’ සෙමින් සෙමින් අඳුරු පැහැයට හැරුණි. පසුව එය සෙමින් සෙමින් කුණු වී මියගියේය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS