ප්ලාස්ටික් කිලෝවට හාල් කිලෝවක්



ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ මුලුගු දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා (කලෙක්ටර්) ප්ලාස්ටික් තුරන් කිරීමට අපූරු වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ ප්ලාස්ටික් කිලෝවක් වෙනුවෙන්, හාල් කිලෝවක් දෙමිනි. මේ පරිපාලන නිලධාරියා සී. නාරායන රෙඩිය.

නවදිල්ලි අගනුවර විස දුමාරයෙන් වැසී, නගර වැසියන්ගේ ජිවිතවලට තර්ජනයක් වෙද්දී, තෙලන්ගානා ප්‍රාන්තයේ, මුලුගු දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක වැසියන් ජිවිතවලට ප්ලාස්ටික් තර්ජනයක් වී ඇත. ඉවත දමන ප්ලාස්ටික් බෝතල් පරිසරයට ද විසය. නාරායන රෙඩි මෙම වැඩසටහන මුලින්ම ආරම්භ කළේ පාසල් සිසුන් අතරේ තරගයක් ලෙසය. ඒ, පසුගිය දීවපාලී දිනයට පෙරය.

‘වැඩියෙන්ම ප්ලාස්ටික් බෝතල් එක් රැස් කරගෙන පැමිණෙන සිසුවාට මා ක්‍රිකට් උපකරණ තෑගි කරනවා’ නාරායන රෙඩි පැවැසීය. පැයක් යද්දී. ප්ලාස්ටික් බෝතල් 1,000 කට වැඩි ප්‍රමාණයක් එක්රැස් කර ගන්නට සිසුන්ට හැකිවිය. ඒ, ඔවුන් ජීවත් වන එක් කුඩා ගම්මානයකිනි. කුඩා ගම්මානයේ මෙතරම් ප්ලාස්ටික් බෝතල් ඇතිදැයි දැක නාරායන රෙඩි මවිතයට පත්විය.

‘ප්ලාස්ටික්වලින් පරිසරයට සහ ගම්වැසියන්ට සිදුවන හානිය පැහැදිලි කර දුන්නත්, ඒය තේරුම් ගැනීමට ගම්වැසියන්ට දැනුමක් නැහැ. ඔවුන් බොහෝ දෙනා ගත කරන්නේ සරල ජීවිත. ඔවුන් දැනුවත් කිරීමට කළ හැකි වූයේ එකම එක දෙයයි.’ නාරායන රෙඩි පැහැදිලි කරයි.

ඒ අනුව, ප්ලාස්ටික් කසල බහුල ගම්මාන තෝරා ගනිමින්, පරිපාලන  නිලධාරියා සිය නව වැඩසටහන ඇරැඹීය. ඒ දින 10 ක කාලයක් සඳහාය. එය සාර්ථක ප්‍රතිඵල අත්කරදීමට සමත් විය. ප්‍රාන්ත රජයෙන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් පමණක් නොව, පරිසරවේදීන්ගෙන් ද නාරායන රෙඩි ට අනුග්‍රහයක් සහ සහායක් හිමිවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS