චීනයෙන් හමුවුණු ’මඩ මකරා’



දකුණු චීනයේ ගැන්ෂූ පළාතේ පාසලක් ඉදිකිරීමට කැණීම් සඳහා ඩයිනමයිට් භාවිතා කෙරුණි. පිපිරීම් සිදු කරද්දී එක් ස්ථානයක පොසිලකරණයට ලක්වුණු අස්ථි ඇති බව ඉදිකිරීම් සේවකයන්ට දකින්න ලැබුණු අතර, ඔවුහු ඒ බව අදාල බලධාරීන්ට දැනුම් දුන්හ. 

චීන පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සහ පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඩයිනමයිට් පිපිරීම් නිසා යම්තාක් දුරකට හානි වී තිබුණු එම පොසිල අස්ථි පරීක්ෂා කරන්න විය. පොසිල අස්ථි ඩයිනසෝරයකුගේ පමණක් නොව, නව විශේෂයකට අයත් ඩයිනසෝරයකුගේ යැයි පසුව දැනගන්න ලැබුණි. පොසිල විද්‍යාඥයන්ට හමුවුණු මෙම නව ඩයිනසෝරයා ‘මඩ මකරා’ යන නාමයෙන් නම් කරනු ලැබ ඇත.

චීනයෙන් හමුවුණු මෙම ‘මඩ මකරා’ ඩයිනසෝරයා කුරුල්ලකුගේ හැඩරුවට සමාන, වර්ණවත් පිහාටුවලින් ද සමන්විත පසුපස ගාත්‍රාවලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. විද්‍යාඥයන් අතට පත් වුණේ මඩ මකරාගේ සර්ව සම්පූර්ණවුණු පොසිල අස්ථිය. ඩයිනමයිට් පිපිරීමෙන් සුළු හානි සිදුවුවත්, පොසිලය ඉතා හොඳ තත්ත්වයෙන් පසුවන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයන් සහ චීන පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ඩයිනසෝරයා මඬේ එරීමෙන් මියගොස් ඇත. අවසන් සුසුම් හෙළා ඇත්තේ සිරුර වකුටු කරගෙනය. බැලූ බැල්මට එය දුක හිතෙන දසුනක් යැයි පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. මඩ මකරා ඩයිනසෝර යුගයේ අවසානයේ එනම්, මීට අවුරුදු මිලියන 66 ත් 72 ත් අතරේ ජීවත් වන්නට ඇතැයි පැවැසෙයි.

‘මඩ මකරා’ යන කෙටි නමින් හැඳින්වුවත් චීන පොසිල විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයා නම් කර ඇත්තේ ‘ටොන්ග්ටියැංලෝන්ග් ලිමෝසුස්’ යන විද්‍යාත්මක නමෙයෙනි. එහි සරල අදහස නම් ‘දෙව්ලොවට යන මඩ මකරා’ යන්නය. මේ සත්වයා අලුත් ඩයිනසෝරයෙකු වුවත්, ඕවිරැප්ටෝසෝරස් ඩයිනසෝරයන්ට සමාන යැයි පොසිල විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. 

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS