ග්‍රෙටා කාලය හරහා අතීතයට ගිහිල්ලා



16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ග්‍රෙටා ස්වීඩන ජාතික දැරියකි. ඇය අවංකවම කැප වෙමින් ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට වෙහෙසෙන්නීය. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද ග්‍රෙටාගේ නම යෝජනා විය.

ග්‍රෙටා මේ අයුරින් ජනප්‍රිය වෙද්දී, පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු ඡායාරූපයක් සංසරණය වීමට පටන් ගත්තේය. එය වසර 120 ක් පැරැණි කළු සුදු ඡායාරූපයකි.

මෙම ඡායාරූපය ඇමෙරිකාවේ වොෂින්ටන් හි සියැටල් නුවර සුප්‍රසිද්ධ අවන්හල් පෙළක එක් අවන්හලක තවත් ඡායාරූප රැසක් ද සමඟ ප්‍රදර්ශනයට තබා තිබේ. ඡායාරූපවල දකින්න ලැබෙන්නේ අතීතයේ ඇමෙරිකාවේත් කැනඩාවේත් රත්තරන් සොයමින් ආ සහ රන් ආකරවල සේවය කළ ඇමෙරිකාවේ මුල් පදිංචිකරුවන්ය.

අවධානයට පාත්‍ර වුණු ඡායාරූපයේ දරුවන් තිදෙනෙකු සිටින අතර මොවුන් කැනඩාවේ ක්ලොන්ඩයික් පළාතේ යුකොන් රන් ආකරයේ සේවය කර තිබේ. ඒ බව ඡායාරූපය සමඟ ඇති ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි. ඡායාරූපය 1898 වසරේ ගත් එකක් බව ද පැවැසෙයි.

දරුවන් තිදෙනා අතර අවුරුදු 16 ක් පමණ වයසැති දැරියක් සිටින අතර පෙනුමින් ඇය සියයට සියයක්ම ග්‍රෙටා දැරියට සමානය. ඡායාරූපයේ දකින්න ලැබෙන අන්දමට ග්‍රෙටා මෙන් කොණ්ඩා කැරැලි දෙකක් ද අවුරුදු 121 ක් පැරැණි මෙම දැරියට ඇත. ග්‍රෙටාගේ පෙනුමට සමාන මෙම දැරිය සිටින ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක් විය.

බොහෝ දෙනා අදහස් දක්වමින් කියා සිටියේ, පරිසරය සුරකිමින් ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට අවංකව වෙර දරන ග්‍රෙටා දියණිය, කාල තරණය කර අතීතයට ගොස් ඇති බවත්, ඇය අතීතයේ සිට පරිසරය වෙනුවෙන් හඬ නගන්න ඇති බවත්ය.

සියැටල් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS