ඇන්ටාක්ටිකාවේ පළමු මංගල උත්සවය



බ්‍රිතාන්‍ය ජාතික යුවලක් ඇන්ටාක්ටිකාවේදී විවාහ වූ අතර, ඇන්ටාක්ටිකාවේදී නිල වශයෙන් විවාහ වුණු යුවල ලෙස මොවුන් සැලකෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

ටොම් සිල්වෙස්ටර් සහ ජූලි බෝම් නමැති මෙම යුවල ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු අතර ගමන් බිමන් සඳහා මඟ පෙන්වන්නන් ලෙස රාජකාරි කරන දෙදෙනෙකි.

දෙදෙනා විවාහ වී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ බ්‍රිතාන්‍ය පාලනයට නතු ප්‍රදේශයේය. ඇන්ටාක්ටිකාවේ පිහිටි බි්‍රතාන්‍ය කඳවුරේදී එහි මහේස්ත්‍රාත් පෝල් සැම්වේස් ඉදිරියේ දී යුවලගේ මංගල්‍යය සිදුවිය.

මොවුන් දෙදෙනා වසර 11 ක් තිස්සේ පෙම්වතුන් වී සිට ඇතැයි ද බී.බී.සී. පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
කඳවුරේ සිටි පිරිස් මංගල උත්සවයේ අමුත්තන් වූ අතර, මනාල යුවල විශේෂ මංගල ඇඳුමකින් සැරැසී සිටියේ නැති බව ද වාර්තා වේ. ඒ, පවතින සීත කාලගුණය හේතුවෙනි.

ඇන්ටාක්ටිකාව යනු දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි හිම සහ අයිස් තට්ටුවලින් පිරි මහද්වීපයයි. බ්‍රිතාන්‍යය පමණක් නොව වෙනත් බටහිර රටවල් රැසක් ඇන්ටාක්ටිකාව ගවේෂණය කරමින්, විවිධ පළාත් ඔවුන්ගේ පාලනයට නතු කර ගෙන සිටී. පරිසරවේදීන්, ගවේෂකයන් පමණක් නොව, විද්‍යාඥයින් පවා මෙම කඳවුරුවල පදිංචි වී විවිධාකාරයේ කාර්යයන්වල නියැලෙන බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS