අලි ඇතුන් වෙනුවෙන් අනුස්මරණ උද්‍යානයක්



ඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණි.

උද්‍යානය ඉදිකර තිබෙන්නේ උත්තර් ප්‍රදේශ්හි මතුරා නගරයේයි.මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙසා, ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි මතුරා නගරයේ අනුස්මරණ උද්‍යානයක් ඉදිකර තිබේ.

උද්‍යානය නිර්මාණය කිරීමට මූලිකවී කටයුතු කළේ මතුරාහි වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයයි.එම උද්‍යානය ඉකුත් සිකුරාදා සිට ජනතාවට විවෘතකර තිබේ.මිනිස් ක්‍රියාකාරකම්වලින් දිවි අහිමිවූ අලි ඇතුන්ගේ නම සහ වෙනත් තොරතුරු ඇතුළත් ශෛලමය පුවරු මෙම උද්‍යානයේ ස්ථාපිත කර තිබේ.

ඇතැම් පුද්ගලයන් අලි ඇතුන් දම්වැල්වලින් බැඳ දැමීම පිළිබඳවත් මෙහි සේවයේ නියුතු පශු වෛද්‍යවරයෙක් අදහස් දක්වා තිබුණි.

එලෙස දම්වැල්වලින් බැඳදැමීම, අලි ඇතුන්ට දැඩිලෙස වේදනාකාරී බවත් එය හිංසනයක් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

ඇත් හිසක් සහිත ගන දෙවියන් හින්දු භක්තිකයන්ගේ දැඩි ගෞරවාදරයට පාත්‍රවී සිටියද ඉන්දියාව තුළත් අලි මිනිස් ගැටුම් දක්නට ලැබෙයි.

දුම්රිය හා වෙනත් වාහනවල ගැටීමෙන් වාර්ෂිකව අලි ඇතුන් බොහෝ ප්‍රමාණයක් මියයන බවයි එරට වාර්තා පෙන්වා දෙයි.
 
( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS