අමුතු ඇස් ඇති හස්කිට අලුත් නිවහනක්



අමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු හස්කි වර්ගයේ බැල්ලකට නව නිවහනක් හිමිවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් පාදක කර ගනිමිනි.

අවුරුදු 4 ක් වයසැති සයිබීරියානු හස්කි වර්ගයේ ඇයගේ නම ජුබිලී ය.

ජුබිලී උපත ලබා ඇත්තේ ඇමෙරිකාවේ නිව් ජර්සි හි මටවාන් නුවර පිහිටි හස්කි බල්ලන් බෝ කරන මධ්‍යස්ථානයේදීය. ඒ, 2018 දීය.

‘අමුතු විදියේ’ ඇස් නිසා ජුබිලී බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැත. එහෙයින් ඇයට මටවාන් නුවර ඇය උපත ලැබූ හස්කි බෝ කිරීමේ මධ්‍යස්ථානයෙන් යෑමට සිදුවිය. ඒ, එම මධ්‍යස්ථානයට දිගටම ඇය නඩත්තු කළ නොහැකි වුණු බැවිනි.

ඇස් පිහිටා ඇති ආකාරය අනුව, බැලූ බැල්මට ජුබිලිගේ මුහුණේ ඇත්තේ විමතියට පත් කලකිරුණු පෙනුමකි.

ක්‍රියාවෙන් නපුරු නොවුණත්, හස්කි බල්ලන්ට ඇත්තේ නපුරු පෙනුමකි. බොහෝ දෙනා ජුබිලී ප්‍රතික්ෂේප කළේ මෙම අමුතු පෙනුම නිසාය.

ජුබිලී සම්බන්ධ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දී ලාබ නොලබන, හස්කි බල්ලන් වෙනුවෙන් රැකවරණ ලබා දෙන ආයතනයක් ජුබිලී බාර ගැනීමට ඉදිරිපත් විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS