හෘදයාබාධ මරණයට හේතු - බ්‍රිතාන්‍යයෙන් සමීක්ෂණයක්



හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හෘදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය එක් ලක්ෂ තිස් පන්දහස් නවසිය පනහක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් වාර්තා කොට නොමැති බව හෙළි වී තිබේ. මියගිය රෝගීන්ගෙන් 16% ක් මිය යාමට දින 28ක් වැනි කාලයක් තුළදී රෝහල්ගත කරනු ලැබුවන්වන අතර ඔවුන් අතරින් ඇතැමෙකු පපුවේ වේදනාව වැනි පුර්ව රෝග ලක්ෂණ සහිතවුවන් බව ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි සමීක්ෂකයෝ පැවසුහ.

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන පරිදි හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස්වේ.මිය යන රෝගියෙකුගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

මෙම රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කොට හෘදයාබාධ කලින් හඳුනා ගැනීමට රෝගීන් පමණක් නොව වෛද්‍යවරුන් ද දැඩි අවධානය යොමු කළ යුතුව පවතින බව ද සමීක්ෂණ වාර්තාවේ කතුවරියක වන මහාචාර්ය මජීත් ඉසාති පැවසුවාය.

බ්‍රිතාන්‍ය භෞතික චිකිත්සකයන්ගේ රාජකීය විදුහලේ ප්‍රකාශකයා මෙම සමීක්ෂණ වාර්තාව හඳුන්වා දුන්නේ නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුවෙන් හෘදයාබාධවලට ප්‍රතිකාර කළ හැකි බොහෝ දියුණු ක්‍රමවේද සොයාගෙන තිබෙන නමුත් රෝග විනිශ්චය සම්බන්ධයෙන් තවමත් වෛද්‍යවරුන් දියුණු කරගත යුතු අංශ තිබෙන බව පෙන්වාදෙන අවස්ථාවක් ලෙසිනි.

 

(තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...........


RECOMMEND POSTS