සිසේරියන් දරු උපත් මිනිස් පරිණාමයට බලපැමක්



දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

බොහෝ මවුවරුන්ගේ උකුල් ප්‍රදේශය සිහින් නිසා ඔවුන් වැඩිදෙනා සීසේරියන් සැත්කම්වලට බඳුන්වෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව දරු උපතක දී ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම මෙන්ම ගර්භාෂයේ පටන් ප්‍රසූතිය නිම කිරීම දක්වා මාර්ගය පටුවීම නිසා 1960 දී මව්වරුන් දහසකට 30 දෙනකු සිසේරියන් සැත්කමට භාජනය කිරීමට සිදු වූ නමුත් වර්තමානයවන විට මව්වරුන් දහසකට 36 දෙනකු ප්‍රසූතියක දී සැත්කමට භාජනය කිරීමට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ස්වාභාවික දරු ප්‍රසූතියක් සඳහා කාන්තාවකට හිමි විය යුතු ශාරීරික සූදානම පරම්පරාවෙන් පරම්පරාවට ජාන හරහා ලැබිය යුතු අතර නිරන්තර සිසේරියන් සැත්කම් සිදු කිරීම එම ස්වාභාවික චක්‍රයට බලපෑම් කරන බවය.

ඇතැම් අවස්ථාවල වෛද්‍ය උපදෙස් මත මවක් දරු ප්‍රසූතියක දී සිසේරියන් සැත්කමකට භාජනය කිරීම අනුමත කළ හැකි නමුත් ස්වාභාවික දරු ප්‍රසූතියක් වෙනුවෙන් කාන්තාවකට ඇති හැකියාව තුරන්වන මට්ටමට සැත්කම් භාවිතය තුළින් මිනිස් පරිණාමයට හානිදායක බලපෑම් එල්ල විය හැකි බව සමීක්ෂණයේ සාරාංශය ලෙස ඔවුහු ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් වර්තමානයේ කාන්තාවන්ට උපතින්ම ඉතා පටු උකුල් ප්‍රදේශයක් හිමිවීමට බලපාන හේතු සාධක සියල්ල අනාවරණයකර ගැනීම ඉතා ඈතට විහිදුනු විෂය පථයක් බව විද්‍යාඥයන්ගේ මතයයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී යට  හෙලන් බ්‍රිග්ස් විසින් සකසනු ලැබූ ලිපියක් ඇසුරෙනි.


RECOMMEND POSTS