සමබල ආහාර වේල සකස්විය යුත්තේ කෙසේද



 

 

           අප කුමන වයසක පසුවුවද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සදහා සමබල ආහාරවේලක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. එබැවින් ඔබ සියලු දේ සැලසුම් කළ යුත්තේ පෝෂණයට මුල් තැනක් දෙමිනි. දිනපතා ප්‍රධාන වේල තුනක් ගැනීම අත්‍යාවශ්‍ය වන අතර  අමතරව කෙටි අහාර වේල් දෙකක් ලබාගැනීමද වැදගත්ය. එමෙන්ම පිරිසිදු වාතාශ්‍රය හා ජලයද ශරීරයට අවශ්‍ය වේ.

          ඔබ ලබාගත යුත්තේ ශක්තිජනක ආහාර එනම් පිටි සහ තෙල් සහිත ආහාර, වර්ධක ආහාර එනම් ප්‍රෝටීන් අඩංගු මස්, මාළු, බිත්තර ආදිය මෙන්ම  ආරක්‍ෂක ආහාර එනම් විටමින් හා ඛනිජ සහිත එළවළු, පළතුරු, පලා වර්ග ආදී සියල්ලෙන් සම්පූර්ණ ආහාර වේලකි.

 

එය පහත ආකාරයෙන් විය යුතුය.

* ඔබේ ආහාර පිගානෙන් 1/2ක් හෝ 2/3ක් ශක්ති ජනක ආහාර එනම් ධාන්‍ය සහ පිටි බහුල ආහාර වීම වැදගත්ය.

* පියලි සහිතඇට වර්ග, මාළු, මස්, කරවල, බිත්තර, වැනි ප්‍රෝටීන ප්‍රභවයක් ආහාරයට එක්කර ගත යුතුය.

* දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක් සහ පළතුරු වර්ග දෙකක්වත් ආහාරයට එක්විය යුතුය.

* දවසේ ප්‍රධාන ආහාර වේල් තුන අනිවාර්යයෙන්ම ගැනීම සහ විශේෂයෙන් උදෑසන ආහාර වේල මග නොහැරීම කළ යුතුය.

* ආහාර තෝරාගැනීමේ දී හා සැකසීමේදී තෙල්, ලුණු හා සීනි අඩු ආහාරවලට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත්ය.

 

මීට අමතරව,

* පැණි රසැති ආහාර, චිප්ස්, බිස්කට්, කේක්, සිසිල් බීම වැනි ශක්ති සාන්ද්‍රණය වැඩි ආහාර වර්ග සීමා කළ යුතුය.

* හැකි සැම විටම නිවසේ සකස් කළ ආහාර ගැනීම කළ යුතුය.

* ශක්තිය වැය කරන ප්‍රමාණයට ගැලපෙන පරිදි ආහාර ගැනීම පාලනය කිරීමෙන් උසට සරිලන බරක් පවත්වා ගැනීම.

* දිනපතා ජලය වීදුරු 6ක් 8ක් පමණ පානය කිරීම.

* දිනපතා අවම වශයෙන් විනාඩි 30ක්වත් මධ්‍යස්ථ වේගයෙන් කළ හැකි ව්‍යායාමයක හෝ ශාරීරික ක්‍රියාකාරකමක නිරතවීම.

උදා : වේගයෙන් ඇවිදීම

          බයිසිකල් පැදීම

          පිහිනීම

* මත්පැන් හා දුම් පානයෙන් ඈත්වීම.‍ ආදියද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වැදගත් වේ.

 

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය

      ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන)

සැකසුම - ඩයනා උදයංගනී


RECOMMEND POSTS