විස නසන ආහාර



අප ගන්නා ආහාර , එදිනෙදා ක්‍රියාකාරකම්, බේත් හේත්, දේශගුණික වෙනස්වීම් නිසා දිගින් දිගටම ශරීරයේ විස තැම්පත් වේ. ඊට නිසි පියවර නොගැනීම නිසා සිරුරේ නිධන්ගතව ඇති විස ප්‍රතිශතය ඉහළ යයි.

විශේෂයෙන් අක්මාවේ , වකුගඩුවල රැඳී ඇති විස ,හෘදයේ නහරවල තැම්පත්ව ඇති විස, පෙණහලුවල සියුම් සෛලවල,මොළයේ ධමනි තුළ තැම්පත්ව ඇති විස, මාංශ පේශීවල තැම්පත්ව ඇති විසට සිරුරෙන්  පිටවීමට නොහැකි නිසා ශරීරයේ බිඳවැටීම් සිදුවේ. එබැවින් සිරුරේ විසහරණයට දායක වන ආහාර පිළිබඳව දැනුම්වත් වීම මෙහි අරමුණයි.

බීට්රෑට් -

විටමින් 'බී'සහ ඇන්ටිඔක්සිඩන්ට් වැඩි ප්‍රමාණයක් අඩංගු වීම සහ ෆ්ලෙවනොයිඩ් ශරීරයට ඉතා ගුණදායක එන්සයිමයකි.

ගෝවා -

උදරයේ ඇති විස පිටතට පළවා හරින එළවළුවකි. කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු අතර අඩු කැලරි ප්‍රමාණයකින් යුතුය. ආහාර දිරවීමට උපකාර වේ.

කැරට් -

විටමින් 'සී' වැඩි ප්‍රමාණයක් සහ බෙටා කැරටින් කියන හෝමෝන් වර්ග සමග විටමින් 'ඊ' වැඩි ප්‍රමාණයෙන් අඩංගු වේ. පිළිකා සෛල වර්ධනය අඩු කරයි.

කොත්තමල්ලි -

අක්මාවේ සහ වකුගඩුවල තැම්පත්ව ඇති විස ශරීරයෙන් පළවා හැරීමට උපකාර වන කුළුබඩු වර්ගයකි.

පිපිඤ්ඤා-

 විටමින් 'බී' විශාල ප්‍රමාණයක්, අඩු කැලරි මෙන්ම සීනි ප්‍රතිශතයද පහළ මට්ටමක වීමෙන්  සිරුරේ උෂ්ණත්වය මනා තත්ත්වයක තබා ගැනීමට උපකාරවේ. කුඩා බඩවැල් සහ මහ බඩවැල් ආශ්‍රිත තුවාල ඇති අයට සුදුසු වේ.

උළුහාල් -

උළුහාල් මෙන්ම ඒවා තැම්බූ වතුර පානය කිරීමත් නිසා ශරීරයේ විස හරණය වේ. අක්මාව, වකුගඩුවල තැම්පත්ව ඇති මේදය ඉවත් කිරීමට උපකාර වන උළුහාල් නහර සහ ධමනි නිධන්ගතව ඇති මේදයද ඉවත් කරයි.

සුදු ලූනු-

අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල්, නිධන්ගත මේදය වැඩි පුද්ගලයන්ට කදිම ඔසුවකි. සුදු ලූනු තම්බා ආහාරයට ගැනීමෙන් සලාදවලට එකතු කිරීමෙන් සුප් ලෙස සැදීමෙන් ශරීරයේ විස ඉවත් කෙරේ.

ඉඟුරු-

ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට ගුණයි.

ලුනු-

වැඩි විටමින් 'සී' ප්‍රමාණයක් අඩංගු වේ. කොලෙස්ට්‍රෝල් රෝගයට මෙන්ම රුධිරය අසාමාන්‍ය ලෙස කැටි ගැසීම පාලනයට ගුණයි.

වට්ටක්කා-

විටමින් 'ඒ ' සහ බෙටා කැරටින් විශාල ප්‍රමාණයක් ඇත. බඩවැල් ආශ්‍රිත තුවාල ඇති අයට ගුණදායි වේ.

රෙඩිෂස්-

කුඩා රාබු ගෙඩියක් ආකාරයට වැවෙන එළවළුවකි. මුත්‍ර ආසාදන ඇති රෝගීන්ට වඩා ගුණදායකයි.

නිවිති-

යකඩ සහ විටමින් 'සී ' වැඩි ප්‍රමාණවලින් අඩංගුය. අප ගන්නා ආහාරවල බොහෝ ගුණ රුධිරයට එකතු කිරීම සඳහා ප්‍රබලව උපකාර වේ. යකඩ ඌනතා ඇති අයට ගුණයි.

තක්කාලි-

' carotenoidsz ' විශාල ලෙස තක්කාලිවල ඇත. එය පිළිකාවලින් මිදීමට මෙන්ම පිළිකා සෛල වර්ධනය අඩු කිරීමටත් උපකාරවේ.

කහ-

විසබීජ සමග සටන් කිරීමේ විශේෂිත හැකියාව නිසා පිටතින් ඇතුළු වන විස ශරීරයෙන් පළවා හරී. මෙම ගුණය නිසා ආහාර සෑදීමේදී මද වශයෙන් කහ එකතු කිරීම බීම වර්ග සෑදීමේදී ස්වල්ප ලෙසත් යොදා ගත යුතුය.

සිරුරේ විස ප්‍රතිශතය වර්ධනය කර ගැනුමට වඩා විසහරණ ක්‍රියාවලියේ ඇති වැදගත්කම කොතෙක්ද යන්න දැන් ඔබට වැටහෙනවා ඇත.

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS