වකුගඩු ලෙඩ වැඩි ඇයි ?



වර්තමානයේ සුලබ මාතෘකාවක් වන වකුගඩු රෝගය කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය ලෙස කොටස් 02කි.  

කාලීන වකුගඩු අකරණිය යනු දිගු කාලයක් පුරාවට වකුගඩුවේ ඇතිවන ස්ථිර වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයයි. ඇතැම් අවස්ථාවල සිදුවන සිදුවීම් හේතුවෙන් තාවකාලිකව වකුගඩුවට හානි පැමිණේ. එය තීව්‍ර වකුගඩු අකරණියයි.

තීව්‍ර වකුගඩු අකරණියට හේතු

සමහර රෝගී තත්ත්ව වකුගඩුවට සෘජුවම හානි කරන අතර ඇතැම් අවස්ථාවලදී එක් එක් රෝගී තත්ත්ව රෝගියා කෙරෙහි දක්වන අනුකූලතාව මෙන්ම රෝගියා තුළ පවතින යම් යම් සාධකවල සංකලනය හේතුවෙන්ද වකුගඩුවට බලපෑම් ඇතිවේ. ශරීරයේ ඇතිවන ආසාධන මේ සඳහා හේතු වේ. මුත්‍ර ආසාධන, නියුමෝනියාව, ඇතැම් විට වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරයි. මෙය බොහෝවිට වකුගඩු රෝගීන් අතර බහුලව දක්නට ලැබේ.

තීව්‍ර වකුගඩු ආසාධනය ඇරැඹෙන්නේ උග්‍ර ආසාධන තත්ත්වය මගිනි. මෙම ආසාධන මුලින්ම ඇති වන්නේ මුත්‍ර අමාරු, නියුමෝනියාව, මොලේ උණ හරහාය. මී උණ රෝගයද මීට බලපායි.

සර්පයන් දෂ්ටනය අනෙක් කරුණයි.

විශේෂයෙන් තිත් පොළඟා සහ කුණකටුවා දෂ්ටනයෙන් මෙවන් තත්ත්වයක් ඇති වේ.

තාවකාලික වකුගඩු අකරණියට හේතු වන්නේ පාචනය, වමනය , අධික රුධිර වහනය, විශාල පිළිස්සුම් තුවාල වැනි තත්ත්ව යටතේ ශරීරය විජලනයට පත් වීමයි. කුඩා දරුවන් අතරද මෙම තත්ත්වය ප්‍රචලිතයි.

තවද ඇන්ජියෝ ග්‍රෑම්, සී.ටී. ස්කෑන් පරීක්ෂණවලදී ශරීරගත කරන ඩයි විශේෂ නිසා තීව්‍ර වකුගඩු අකරණිය ඇති වේ.

වකුගඩුවේ ඇති වන ප්‍රදාහ තත්ත්වයද තීව්‍ර වකුගඩු අකරණියට හේතු වේ. මෙවැනි විටෙකදී මතුවන රෝග ලක්ෂණ වනුයේ මුත්‍ර සමග ප්‍රෝටීන් පිටවීම, මුත්‍ර සමග අසාමාන්‍ය ලෙස රතු රුධිරාණු පිටවීම, අධි රුධිර පීඩනය හට ගැනීම වැනි තත්ත්වයි.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ
වකුගඩු සහ වකුගඩු රෝග පිළබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

 

සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS