වකුගඩු රෝග හඳුනා ගන්නා මූලික පරීක්ෂණ



කිසිඳු රෝගයක් මතුපිටින් නිරීක්ෂණය කොට තහවුරු කිරීම නිවැරැදි පිළිවෙත නොවෙයි. රෝගීන් ඖෂධ පවා ලබා ගත යුත්තේ වෛද්‍ය නිර්දේශයට යටත්ව විය යුතු අතර රෝගය නිශ්චිතවම අනාවරණය කර ගැනීමෙනි.

වකුගඩු රෝගය පිළිබඳව විමසීමේදීද මූලික ලක්ෂණ පෙන්නුම් කළ වහාම විවිධ පර්යේෂණ මගින් රෝගී තත්ත්වය අනාවරණය කර ගත හැකිය. වකුගඩු රෝග හඳුනා ගැනීමට යොදා ගන්නා පරීක්ෂණ කිහිපයකි. ඒවා රුධිර, මුත්‍ර, ස්කෑන් යනුවෙන් කොටස් 03ක් යටතේ වර්ග කෙරේ.

රුධිර පරීක්ෂණ -

ලේ පරීක්ෂණය යනුවෙන්ද හැඳින් වෙන්නේ මෙයයි. serum creatinine සහ  estimated glomentar filtration යනුවෙන් පරීක්ෂණ වර්ග 02කි.

serum creatinine -

ක්‍රියැටිනීන් යනු මාංශපේශී ක්‍රියාකාරීත්වයෙන් රුධිරයට එකතු වන සංඝටකයකි. වකුගඩුවේ නිසි ක්‍රියාකාරීත්වය මත මෙය රුධිරයේ ස්ථාවර මට්ටමක පවත්වා ගනී. සාමාන්‍යයෙන් මෙම අගය 0.5-1.5mg /dl  සහ  44-132micromol /l වේ.

estimated glomentar filtration rate-

මෙයින් වකුගඩුවේ පෙරීමේ කාර්යය නිර්ණය කෙරේ. එනම් සීරම් ක්‍රියැටිනීන්  අගයේ ඇති වන වෙනස්කම් නිසා වකුගඩුවේ පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කිරීමට යොදා ගන්නා ගණනය කිරීමකි.මෙයින් විනාඩියකට රුධිරය කොපමණ මිලි ලීටර් ප්‍රමාණයක් වකුගඩුවෙන් පෙරෙනවාද යන්න සොයා බැලේ. සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම අගය 90-120 ml/min වේ.

මුත්‍ර පරීක්ෂණය -

මුත්‍රවල ඇති ප්‍රෝටීන්, ග්ලූකෝස්, රතු රුධිරාණු, සුදු රුධිරාණු වැනි සංඝටක නිර්ණය කෙරේ.

ස්කෑන් පරීක්ෂණ - ultra sound scan

වකුගඩු රෝගයක් ඇති හෝ නැතිද යන්නත් , එවන් රෝගයක් දිගු කලක් පවතීද යන්නත්, මුත්‍ර පෙරීමේ අවහිරතා මෙන්ම මුත්‍රවල ගල්, මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය , පුරුෂ පක්ෂයේ පුරස්ථි ග්‍රන්ථිවල ස්වභාවය වැනි තොරතුරු රැසක් මෙමගින් සොයා ගත හැකිය.

ct scan -

වකුගඩුවල ගල් පවතින අවස්ථාවලදීත් , මුත්‍ර පෙරීමේදී සිදුවන අවහිරතා හඳුනා ගැනීම සඳහාද ඇතැම්විට මෙය උපකාරී වේ.

DTPA - diethyl enetriamine pentaacetic acid -

ශරීරයෙහි ඇති වකුගඩු දෙකෙහිම පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කරන පරීක්ෂණයකි. එක් වකුගඩුවක් පමණක් දුර්වලයැයි සැක කෙරෙන අවස්ථාවලදී මෙය යොදා ගැනේ.

වකුගඩු බයොප්සි පරීක්ෂණය - renal biopsy

මෙය සිදු කිරීමට නිර්දේශ කරන ආසන්නතම හේතු මෙසේය.

01) වකුගඩුවේ ප්‍රදාහ ඇති විටෙක

02) වකුගඩු අකරණිය ඇති වීමට හේතු නිර්ණය කිරීමෙදී

03) වකුගඩුවෙන් ප්‍රෝටීන පිටවීමේදී

04) රතු රුධිරාණු වකුගඩුවෙන් පිටවන අවස්ථාවලදී

අල්ට්‍රා සවුන්ඩ් නම් උපකරණයෙන් වකුගඩුව දෙස බලමින් සිහින් දිග කටුවක් භාවිතයෙන් හැරිවැට්ටවීම මගින් මෙය සිදු කෙරේ. මෙයාකාරයට වකුගඩුවෙන් ලබා ගන්නා කුඩා කැබැලි අන්වීක්ෂය මගින් පරීක්ෂා කර නිගමනයක් ලබා ගැනේ.

එක්සත් රාජධානියේ ගැලොවේ සහ ඩම්ෆ්‍රීස් ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS