ලෙඩ ‍රෝග රැසකට අත වනන පැණිබීම



කෝලා වර්ග පානයට බොහෝ අය කැමැත්තක් දක්වන අතර මෙය ශරීරයට හිතකර පුරුද්දක් නම් නොවන බව කිව යුතුය. කෝලා වර්ග නොබොන පුද්ගලයින් හා සාපේක්ෂව බැලීමේදී දිනකට මෙම බීම වර්ගවලින් බෝතලයක්වත් බොන අය අතර හෘදයාබාධ, ආඝාතය වැනි රෝගාබාධ ඇතිවීමේ සියයට 48ක පමණ අවදානමක් පවතින බව පර්යේෂණ වාර්තා මගින් හෙළි කර තිබේ.


එමෙන්ම කෝලා වැඩි වශයෙන් පානය කරන්නන් අතර පෙනහළු රෝග, ඇදුම ආදී ස්වසන රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව එම වාර්තා සදහන් කරයි. මෙහි ඇති කාබොනීකෘත ද්‍රව්‍ය ආමාශ ආස්තරණයට අහිතකර සේ බලපාන අතර ශරීරයේ අස්ථි දුර්වල කිරීමට ද හේතුවේ. එමෙන්ම එහි ඇති අම්ල ද්විතියික වශයෙන් සිරුරේ ඇති කැල්සියම් සංයුතියද හීන කිරීමට හේතුවේ.
කෝලා වර්ගයේ බීම වර්ග පානය කිරීමෙන් පසු ඒවා උගුර දි‍ගේ ඉහළට පැමිණීම සුලභ අතර එයින් උගුරේ පටකද ආපදාවට පත්වේ. එයින් ඇතිවන සෛලීය විකෘති පිළිකා ‍ඇතිවීමට හේතුවකි. මේ තුළ ඇති පොස්පරික් අම්ලය දත්වල එනමලය දියකර හැරීමට ද සමත්ය. කෝලා වර්ගයේ බීම පානය කිරීමෙන් පසු එහි ඇති සීනි පහසුවෙන් රුධිරයට උරාගන්නා අතර එය රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට හේතුවේ. මෙම කෝලා බීමවල ආම්ලිකතාවය බැටරි ඇසිඩ්වල ආම්ලිකතාවට සමාන වන අතර ඒ අයුරින් ගත් විට මේවා මනුෂ්‍ය පරිභෝජනයට නම් සුදුසුයැයි කිව නොහැකි තරම්ය.
එසේ වුවත් කෝලා වර්ගයේ පාන හොඳ පිරිසිදුකාරකයන් බව නම් කිව හැක. මලකඩ ඉවත් කිරීමල ඇදුම්වල තැවරී ඇති පැල්ලම්, ග්‍රීස් ආදිය ඉවත්කිරීම, වාහන බැටරි ශුද්ධ කිරීම, ‍ලෝහ භාණ්ඩ පිරිසිදු කිරීම, වැසිකිලි පෝච්චි පිරිසිදු කිරීම ආදිය සදහා නම් මෙම පානයන් ඉතා උචිතය.

 ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන                    

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍බෝ නොවන රෝග ඒකකය

සැකසුමඃ

ඩයනා උදයංගනී

 


RECOMMEND POSTS