බටර් අහිතකර නෑ



බටර් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. බටර් ආහාරවලට එකතු කරගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ නැංවීමක් සිදු නොවන ඔවුහු පවසති.

දිනකට බටර් තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගැනීම මර්තත්‍යාව කෙරෙහි සිදු කරන්නේ ඉතා සුළු බලපෑමක් බවත් ආඝාතය හෝ හදවත් රෝග සම්බන්ධයෙන් සැලකිය යුතු සබඳතාවක් දක්නට නැතැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එපමණක් නොව ඉතා සුළු ප්‍රමාණයකින් දියාවැඩියාව ඇති වීමේ අවදානම පහත හෙළීමට බටර් ආහාරය ගැනීම උපකාරී වන බව ද මෙහිදි අනාවරණය වී තිබේ.

බොස්ටන් හි ටුෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබේ. පර්යේෂකයන් පිරිස 2005 වසරේ සිට රටවල් 15කට අධික සංඛ්‍යාවක කරන ලද අධ්‍යයන නමයක ප්‍රතිඵල අධ්‍යයනය කරමින් අවසාන ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. 

වයස අවුරුදු 44ත් 71ත් අතර පසුවන වැඩිහිටියන් 640,000කට යොදාගනිමින් කරන ලද පර්යේෂණ මාලාවක ප්‍රතිඵල මෙලෙස අනාවරණය කර තිබේ.

බටර් ආහාරයට ගැනීමෙන් දෙවැනි වර්ගයේ දියාවැඩියා රෝගය ඇතිවීමේ අවදානම සියයට 4කින් අඩු කරන බව ද මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම කරුණු සනාථ කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බව ද පර්යේෂකයෝ පවසති.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS