පිළිකා නසන මී මැසි විෂ



කාන්තාවන් අතරේ පියයුරු පිළිකා බහුලය. පියයුරුවල කිරි නිපදවන ග්‍රන්ථිවල හෝ එම ග්‍රන්ථිවල සිට කිරි රැගෙන යන නාලවල හෝ අවට පටකවල හෝ සෛල අසාමාන්‍ය ආකාරයට වර්ධනය වීම පියයුරු පිළිකාවකි. 

අවුරුදු 35 ට වැඩි සෑම කාන්තාවක්ම වසරකට වරක් සෞඛ්‍ය නිලධාරිනියකු හෝ වෛද්‍යවරයකු ලවා පියයුරු පරීක්ෂා කර ගනිමින් පියයුරු පිළිකා ඇතිනම් ඒවා කල්තියා හඳුනා ගැනීම කළ යුතුයි.

මැමෝග්‍රැෆි පරීක්ෂණයකින් පියයුරු පිළිකාවක් ඇතැයි අනාවරණය වුවහොත්, විකිරණ ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. පියයුරු පිළිකා සඳහා පමණක් නොව, වෙනත් වර්ගවල පිළිකා සඳහා ද විකිරණ ප්‍රතිකර්ම භාවිත කරද්දී, අහිතකර පිළිකා සෛල පමණක් නොව, නිරෝගී සෛලවලට පවා හනි සිදුවෙයි. නිරෝගී සෛල විනාශ වෙයි.

පියයුරු පිළිකාවට එරෙහිව සටන් කළ හැකි සංඝටකයක් ලොවට අනාවරණය කිරීමට ඕස්ට්‍රේලියා විද්‍යාඥයෝ පසුගියදා සමත් වූහ. මේ සංඝටකය අන්තර්ගත වන්නේ මී මැස්සන්ගේ විෂවලය. එය හැඳින්වෙන්නේ ‘මෙලිට්ටින්’ යනුවෙනි. මෙලිට්ටින්වල ඇති පිළිකා සෛල නැසීමේ ගුණය සොයා ගැනීමට සමත් වී ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසකි.

මොවුන් මේ සඳහා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හමුවන මී මැස්සන් 312 කගේ විෂ යොදාගත් බව පැවැසෙයි. ඊට අමතරව, අයර්ලන්තයේ සහ එංගලන්තයේ මී මැස්සන්ගේ විෂ ද පර්යේෂණ සඳහා යොදා ගෙන තිබේ.

මී මැසි විෂවල ඇති මෙලිට්ටින්, වෙන් කර ගැනීමට පමණක් නොව, ඒවා කෘත්‍රිමව නිර්මාණය කර ගැනීමට ද විද්‍යාඥයෝ මේ වනවිට සමත් වී සිටිති. ඔවුන් පියයුරු පිළිකා ඔඩුදුවන ලද රෝගීන් සම්බන්ධ කර ගනිමින්, ‘මෙලිට්ටින්’ යෙදා ගනිමින් සායනික මට්ටමින් පර්යේෂණ පවත්වා ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ අධීක්ෂණය යටතේය. ‘මෙලිට්ටින්’ පිළිකා සෛල සියයට සියයක් විනාශ කර දමන බව ඒ අනුව හෙළි විය. එය සිදුවන්නේ නිරෝගී සෛලවලට කිසිදු අනතුරක් නොකරය. එපමණක් නොව, මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයකදී එය සිදුවෙයි.

“මේක සුවිශේෂී සොයා ගැනීමක් බව අවිවාදයෙන් කියන්න ඕනෑ. මේක මී මැසි විෂ යොදා ගනිමින් සිරුරේ විෂ විනාශ කිරීමක්. විසෙන් විෂ නැසීමක් හා සමානයි. තවමත් අප අත්හදා බැලීම් කරනවා. ඉදිරියේ දී පියයුරු පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් ලබා දෙන්න අපට හැකිවේවි.” යැයි පර්යේෂණයට නායකත්වය දෙන ආචාර්ය කියාරා ඩුෆී පවසන්නීය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS