නොසලකා හැරීමෙන් බරපතළ වෙන හිසරදය



හිසරදයට ගොදුරු නොවූ කිසිවකු මිනිස් සමාජයේ නොසිටිය හැකිය. හිසරදය විවිධ ආකාරයට සෑදෙයි. මෙය බොහෝවිට ඉතාම අපහසුතා ගෙන දෙයි. හිසරදය තිබෙන විට කිසිවකුට එම අපහසුතාවයත් සමග රාජකාරියේ හෝ වෙනත් වැඩක නිරත විය නොහැකිය. මේ නිසා මෙම රෝගී තත්ත්වය වටිනා මිනිස් පැය අකාලයේ විනාශ කර දැමීමට හේතු වූ රෝගී තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

 

හිසරදය ඇති වූ විට එය අඩු කර ගැනීමට සිතනවා මිස එය කුමන හේතුවක් නිසා ඇතිවන්නක්දැයි බොහෝදෙනා නොසිතති. හිසරදය සුළු කොට තැකුවද එය බරපතළ රෝගයක මූලික ලක්ෂණයක් විය හැකිය. ඒ නිසා හිසරදය සෑදෙන්නේ නම් ඒ කුමක් නිසා ඇතිවන තත්ත්වයක්දැයි සැලකිලිමත් විය යුතුය.

හිසරදය යනු රෝගයක් නොවේ. එය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවන රෝගයක මූලික ලක්ෂණයකි. එසේම හිසරදයේ වර්ග දහතුනකි. ඒ අතරින් නිතර අපට දක්නට ලැබෙන හිසරදය වර්ග පහකි.

 

1. ආතතිජන්‍ය හිසරදය (Tension)

2. නිතර සෑදෙන හිසරදය (Cluster)

3. ඉරුවාරදය (Migraine)

4. සයිනස් හිසරදය (Sinus)

5. ආපසු සෑදෙන හිසරදය (Rebound)

 

වැඩිපුරම හැදෙන සයිනස් හිසරදය

ඉහත හිසරද තත්ත්ව අතරින් සයිනස් තත්ත්වය වඩාත්ම දක්නට ලැබේ. මෙම හිසරදය ඇතිවන්නේ නාසයේ ශ්ලේෂ්මල පටල හා කුහරවල (නළල් සහ ඇස් කුහරවල* සෙම නිපදවීමෙනි. ස්වාභාවිකව ගලන සෙම අවහිර වී මේවායේ එකතු වේ. එසේ එකතු වී වෛරසයක් බැක්ටීරියාවක් හෝ දිලීරයක් ඒ හා එකතු විය හැකිය. එයින් හිසරදය ඇති වේ. මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ නළලේ සහ මුහුණේ අස්ථි කුහර ආශ‍්‍රිතව ය. සයිනස් හිසරදය බහුලවම දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

 

රෝග ලක්ෂණ

  • රෝගියාට නළල දෙපසින් වේදනා ගෙන දෙයි. මෙම වේදනාව ඇතිවිට හිස පහත් කිරීමට නොහැකිය. බරක් උස්සන විට මෙම වේදනාව ඇතිවිය හැකිය.
  • හිසරදය ඇතිවිට විශේෂයෙන් හිස දෙපස කම්මුල් දෙපස දැඩි වේදනා ගෙන දෙයි.
  • වේදනාව ඇතිවිට එම ස්ථාන අතින් තද කළ විට දැඩි වේදනා ගෙන දෙයි.
  • සමහරුන්ට හිස දෙපස හා හිස පිටුපසින්ද වේදනා ඇති වෙයි.
  • රෝගී අවස්ථාවේදී නාසය, ඇස් දෙපස රත්පැහැ ගනී.
  • මෙවැනි රෝගීන්ට නිතර සෙම පැටලෙන ගතියක් ඇති වේ.
  • නළල දෙපසින් හෝ මැදින් දවස පුරාම වේදනා ඇති වේ.
  • නාසයට නිතර සෙම් සිරවෙන ගතිය දැනේ.
  • නිතර වියළි කැස්ස
  • උගුර නිතර කටුවකින් සූරනවා මෙන් දැනේ.
  • රෝගියාට ගඳ සුවඳ නොදැනේ.
  • ආහාර අරුචිය ඇති විය හැකිය.
  • ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. වෛද්‍යවරයකුට මෙම රෝගය නිශ්චිතවම හඳුනාගත හැකි ලක්ෂණ තිබේ. ඒ මෙසේය.
  • ශ්වසන මාර්ගයේ ආසාදන ගතියක් හෝ ඊට වැඩි කාලයක් සුව නොවී පවතින එය මේ සඳහා පවතින රෝග ලක්ෂණයකි.
  • රෝගියාට තදින් උණ සෑදෙයි. සමහරවිට ගැහි ගැහී උණ සෑදෙයි.
  • කහ පාටින් සෙම පිටවීමට පටන් ගනී.
  • දත් නරක් වූ රෝගියකුට මෙම තත්ත්වය ඇති වේ. මෙය මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පවතී නම් නිදන්ගත තත්ත්වයට පත් වේ.
  • හදිසි අනතුරකින් පසුව ඇතිවන අස්ථි බි`දීමකදී හෝ මුහුණේ බරපතළ ලෙස ඇතිවන තුවාලයක් නිසා මේ තත්ත්වය ඇතිවිය හැකිය.
  • වරක් මෙම රෝගය සෑදුනොත් නැවත නැවත සෑදීමේ හැකියාව වැඩිය.

 

අතුරු ආබාධ තිබෙනවාද?

නිතර සයිනස් හිසරදයට ගොදුරුවන කෙනෙකුට ඒ නිසාම අතුරු ආබාධ හට ගැනීමට ඉඩ තිබේ. එනම්,

එක දෙක මෙන් නිතර පෙනීමට පටන් ගනී.

වේදනා දෙන පැත්තේ ඇස එළියට එයි.

මෙම රෝගී තත්ත්වය බරපතළ ලෙස සෑදුනොත් මොළේ ලේ කැටි සිරවීමට පවා ඉඩ තිබේ.

දරුණු ලෙස රෝගය සෑදුනොත් මොළයේ ඇති මස්තිෂ්ක පටකවලට හානි වී ජීවිතය පවා නැතිවීමට ඉඩ තිබේ.

දියවැඩියා, වකුගඩු බද්ධ කළ රෝගීන්, පිළිකා වැනි ප‍්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙම රෝගයට දිලීරවලින් බලපෑම් ඇතිවිය හැකිය.

 

ප‍්‍රතිකාර මොනවාද?

මෙම රෝගයට ප‍්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතු වෙයි. එසේම නාසයට බෙහෙත් දැමීමද අවශ්‍යය. රෝගය දරුණු ලෙස පවතී නම් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මගින් ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදු වේ. මේ නිසා ඔබගේ හිසරදය සුළුකොට නොසිතිය යුතුය. ඔබට සයිනස් හිසරදය ඇතැයි සැක සහිත නම් නොපමාව වෛද්‍ය උපදෙස් ගත යුතුය. ඊට හේතුව මෙම රෝගය නිදන්ගත වුවහොත් පාලනය හෝ සුව කිරීම අපහසු වන නිසාය. ඒ නිසා නිතර හිසරදය යැයි පවසමින් එය මගහරවා ගැනීමට වේදනා නාශක ඖෂධ නොගෙන පමා නොකර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

 


RECOMMEND POSTS