නිරෝගීව ඉන්න ඇපල් කන්න



දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනයේ නිරත වූ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් මුළුල්ලේ වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් අධ්‍යයනයට  කරමින්  ‘වෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය නිරත වූහ.

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි. 

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූයේ යැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇපල් යනු කෙඳි විශාල ප්‍රමාණයක් සහ සමේ ඇති ‘ෆ්ලේවනොයිඞ්’ අඩංගු පළතුරක් යැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි.  ‘ෆ්ලේවනොයිඞ්ස්’ සංයෝගය ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි. 

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.  

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS