නටෙල්ලා පිළිකා කාරකයක් දැයි සැකයක්?



ලොවපුරා බාල මහලු කොයිකා අතරත්  අතිශය ජනප්‍රිය චොක්ලට් මුසු තැවරුමක් වන නටෙල්ලා වල පිළිකා කාරක තිබෙන බව සඳහන් කරමින් පසුගිය සතිය පුරා විවිධ අදහස් අන්තර් ජාලය ඔස්සේ වාර්තා විණි.මේ අතර එහි පිළිකා කාරක තිබිය හැකි යැයි පැවසෙන වාර්තාවකට එරෙහිව එහි නිෂ්පාදන සමාගම වන ෆෙරෙරො ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම තැවරුමේ මෘදුබව හා වැඩිකල් පැවතීමට හැකි වීම සඳහා ෆෙරෙරො සමාගම යොදා ගන්නේ පාම් තෙල් ය. කෙසේ වෙතත්, පාම් තෙල් වල අනෙකුත් තෙල් වර්ග වලට වඩා පිළිකා කාරක අඩංගු බවට පසුගිය මැයි මාසයේදී යුරෝපීය ආහාර සුරක්‍ෂිතතා අධිකාරියේ (European Food Safety Authority) වාර්තාවක සඳහන් ව තිබුණි.

මේ වන විට ඉතාලියේ විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන කූප් ඇතුළු ප්‍රධාන සිල්ලර වෙළඳාම් සමාගම් කිහිපයක්ම ආරක්ෂක පියවරක් වශයෙන් නටෙල්ලා නිෂ්පාදනය අලෙවිය නවතා තිබේ.

මෙම සිද්ධි මාලාවට ප්‍රතිචාර දක්වමින් රූපවාහිනිය ඔස්සේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට ෆෙරෙරො සමාගම කටයුතු කර ඇති අතර, පාම් තෙල් රහිතව සිය නිෂ්පාදනයේ තත්ත්වය බාල වන බවත්, ඔවුන් මේ සඳහා පාම් තෙල් භාවිතා කරන්නේ පිළිකා කාරක ඇති නොවන ලෙසත් සඳහන් කරයි.

පෙම් තෙල් වලට ආදේශකයක් යොදා නොගන්නේ පිරිවැය පිළිබඳ සිතා නොව එහි තත්ත්වය හේතුවෙන් බව මෙහි අදහස් දක්වන ෆෙරෙරො සමාගමේ මිලදී ගැනීමේ කළමනාකරු - වින්සෙන්සෝ ටැපෙලෝ පවසා තිබේ.

සූරියකාන්ත මල් හෝ Rapeseed (කැනෝලා) වලින් සාදන තෙල් ආදේශකයන් ලෙස යොදාගත හැකි වුවත්, මෙමගින් නටෙලා නිෂ්පාදනයේ මිල ඩොලර් 22කින් පමණ ඉහළ යනු ඇතැයි රොයිටර් පුවත් සමාගම වාර්තා කර තිබුණු නමුත් මේ සම්බන්ධයෙන් ෆෙරෙරො සමාගම සනාථ කර නැත.

පාම් තෙල් සෙල්සියස් අංශක 200ට වැඩි උෂ්ණත්වයකට රත්කිරීමේදී glycidyl fatty acid esters (GE) නිපදවෙන අතර, එය පිළිකාකාරකයක් බවට යුරෝපීය ආහාර සුරක්‍ෂිතතා අධිකාරියේ වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබුණි. ආහාර නිෂ්පාදනයේදී බොහෝවිට පාම් තෙල් රත්කරනු ලබන්නේ මෙම උෂ්ණත්වයට වැඩියෙනි.

කෙසේවෙතත්, මෙවැනි හානිදායක සංයෝග ඇතිවීම අවම කරවීමට පාම් තෙල් සෙල්සියස් අංශක 200ට අඩු උෂ්ණත්වයක් හා අඩු පීඩන තත්ත්වයන් යටතේ රත්කරන විශේෂ කාර්මික ක්‍රමවේදයක් භාවිතා කරන බව ෆෙරෙරො සමාගම වැඩිදුරටත් පවසයි. මෙම ක්‍රමවේදය යටතේ ඇති වන GE සංයෝග ප්‍රමාණය, විද්‍යාත්මක උපකරණ වලට පවා සොයාගැනීමට අපහසු තරම් කුඩා බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි...


RECOMMEND POSTS