දිවි නසා ගැනීමට හේතුවක් වන විශාදය



විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බව කියැවේ.

අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට මුහුණ දීම නිසා ඇතිවන දුක කාලයත් සමග පහව යන නමුත් එසේ නොවී ශෝකී බව දිගටම පැවතීමෙන් විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.
 

විශාදය ඇති වීමට පහත හේතු ද බලපෑ හැක.

*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)

විශාදයේ ප්‍රධාන ලක්ෂණ 3කි.

*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය 
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම

මීට අමතරව පහත උප ලක්ෂණ විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.

*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම 
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම

ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක් ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත් ‍වේ.

විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමීපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.

ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ ප්‍රකාශන ඇසුරිනි‍

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS