දියවැඩියාවට පිළියමක්



 
දවසකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය පාලනය කළ හැකි යැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
 
කෙටි කාලයක් තුළ බර අඩු කරගැනීමට දිනකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීම ඔස්සේ (ක්‍රෑෂ් ඩයට්) මෙසේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය අඩු කරගත හැකි බව එම පර්යේෂණයේදී අනාවරණය වී ඇත. සිරුරේ බර සියයට දහයකින් අඩු කරගැනීම මඟින් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය සියයට 90කින් අඩු කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
 
ලොව වේගයෙන්ම වර්ධනය වන නිදන්ගත රෝගී තත්ත්වය ලෙස සැලකෙන්නේ ද දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වයයි. ‘ද ග්ලෝබල් ප්‍රිවීව් ස්ටඩි’ ආයතනය විසින් ලොව ජාතීන් අටක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ. මෙම දියවැඩියා තත්ත්වය සුව කළ නොහැකි බව මීට පෙර විද්‍යාඥ්‍යන් ප්‍රකාශ කර තිබිණි.
 
මෙම පර්යේෂණය සඳහා දියවැඩියා රෝගයෙන් තොර එහෙත් එය ඇතිවීමේ අවදානම සහිත 2300ක පිරිසක් යොදා ගෙන ඔවුන්ට සති අටක කාලයක් පුරා දිනකට කැලරි 800ක් සහිත ආහාර වේලක් ලබා දී ඇත. ඔවුන්ට ලබා දී ඇත්තේ සුප් හා මිල්ක්ෂේක්ස් පමණි. එමෙන්ම ඔවුන් දෛනිකව ව්‍යයාමවල නිරත වී ඇති අතර එය ඔවුන්ට දියවැඩියාව ඇති වීමේ අවදානම වැඩි අගයකින් අඩු කර ඇති ඇතැයි පර්යේෂකයෝ පවසති.
 
මෙම සති අටක කාලය තුළ දී පර්යේෂණයට සම්බන්ධ වූ පිරිසගේ බර කිලෝග්‍රෑම් දහයකින් එසේත් නැතිනම් සිරුරේ බරෙන් සියයට 10.8ක ප්‍රමාණයක් අඩු වී ඇතැයි ද පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
 
මේ ආකාරයෙන් වසර තුනක කාලයක් කටයුතු කළහොත් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම බොහෝ දුරකට නවතා ගත හැකි බව පර්යේෂකයෝ තවදුරටත් පෙන්වාදෙති. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි 

RECOMMEND POSTS