ඩෙංගු කම්පනය මාරාන්තිකයි



ඩෙංගු රෝගය සෑදුන බව දැනගත් විට බොහෝ රෝගීන් තුළ දැඩි තැති ගැස්මක් ඇතිවේ. එයට හේතුව ඇතැම් ඩෙංගු රෝගීන්, ඩෙංගු රෝගය හේතුවෙන් මරණයට පත්වීමයි. මේ ලෙස ඩෙංගු සෑදී  මරණයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු වුවද, කුමන ඩෙංගු රෝගියා ඩෙංගු රෝගයෙන් මරණයට පත්වේදැයි කලින් හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයකි. ඩෙංගු රෝගය තරම් සංකූලතා පිළිබඳව පූර්ව නිගමනවලට එළඹිය නොහැකි තවත් රෝගයක් තිබේදැයි සැක සහිතය.

 ඩෙංගු රෝගය සඳහා මේතාක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැත. ඩෙංගු රෝගය සෑදුන රෝගීන් රෝහල් ගත කිරීමෙන් සිදුකෙරෙනුයේ ඩෙංගු රක්තපාත උණ අවස්ථාවේ ඇතිවන අවදානම් අවධිය (Critical phase) කලින් හඳුනා ගැනීමත් එම රෝගීන් නිසිලෙස දියර කළමනාකරණයෙන් (Fluid management) ඩෙංගු කම්පන තත්ත්වයට  (Dengue Shock Syndrome) පත්වීම වැළැක්වීමයි. 

ඩෙංගු රෝගය මෙතරම් භයානක රෝගයක් ලෙස සැලකීමට හේතුවී ඇත්තේ ඩෙංගු රෝගය නිසාවෙන් සෑදෙන ඩෙංගු රක්තපාත තත්ත්වය Dengue haemorrhagic Fever සහ ඩෙංගු කම්පන තත්ත්වය (Dengue Shock Syndrome) ආශි‍්‍රතව ඇතිවන සංකූලතා නිසාවෙනි.

 

ඩෙංගු රක්තපාත තත්ත්වය කෙතරම් සුලභද?

ඩෙංගු වෛරසය ශරීරගත වූ අයගෙන් සියයට 80කට පමණ රෝග ලක්‍ෂණ කිසිවක් ඇති නොවේ. ඉතිරි සියයට 20ක් පමණ වන රෝග ලක්‍ෂණ ඇතිවන ඩෙංගු රෝගීන් පිරිසෙන් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවනුයේ සුළු පිරිසකට ය. මේ ලෙස ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක් එක් වසංගත තත්ත්වය අනුව වෙනස් වේ. මේ දිනවල ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් පවතින ඩෙංගු දර්ශක 2 කාණ්ඩය ආශි‍්‍රත වසංගත තත්ත්වය තුළ පෙරට වඩා රෝගීන් 
සංඛ්‍යාවකට ඩෙංගු රක්තපාත තත්ත්වය සෑදී තිබෙන බවත් පෙනේ. 


ඩෙංගු රක්තපාත තත්ත්වයකදී සිදුවන්නේ කුමක්ද?
මෙම තත්ත්වයේදී සිදුවනුයේ රුධිර නාළ ඇති ප්ලාස්මා තරලය රුධිර කේෂ නාළිකාවලින් පිටතට කාන්දු වීමයි. මෙම ආකාරයට කේෂ නාළිකාවලින් පිටතට ගලායන ප්ලාස්මා තරලය සුලබ වශයෙන් උදර කුහරය සහ ප්ලූරා පටලය තුළට ගලායාමක් දැකිය හැක. එසේම දේහයේ ඇති අනෙකුත් කුහර තුළ ද මෙම ප්ලාස්මා තරලය එකතු වීමක් සිදුවිය හැක.

මෙම රක්තපාත තත්ත්වය ඩෙංගු උණ සෑදී දින 2ක් 7ක් අතර කාලයක ඇතිවිය හැක. බොහෝ ඩෙංගු රෝගීන්ගේ ඉහතින් විස්තර කළ ප්ලාස්මා තරලය රුධිර වාහිනීවලින් පිටතට ගලායාමේ කි‍්‍රයාවලිය පැය 48කට පමණ කාලයකට සීමාවේ. කලාතුරකින් මෙම ප්ලාස්මා තරලය පිටතට ගලායාම දිගටම සිදුවීමෙන් කම්පන තත්ත්වය ඇතිවිය හැක. ඊට අමතරව රුධිර නාළ තුළින් පිටතට ප්ලාස්මා තරලය ගලයාම හේතුවෙන් රුධිර සංසරණයට අවශ්‍ය වන ප්ලාස්මාව නොමැතිවීමෙන් ශරීරයේ මොළය සහ අක්මාව වැනි අවයවවලට දැඩි හානි සිදුවිය හැක. 

මේ ලෙස රුධිර නාළ තුළ ඇති ප්ලාස්මා තරලය පිටතට ගලායන පැය 48ක් පමණ වන  කාලය ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය (Critical Phase) ලෙස හඳුන්වනු ලබයි.  

 

ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය සිදුවී ඇතැයි හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ කවරේද?

මෙම අවදානම් අවධිය බොහෝවිට දැකිය හැකි  වනුයේ උණ සහිත අවධියේ අවසානයේදී හෝ උණ බැස යන අවස්ථාවේදීය. කලාතුරකින් ඉතා තද උණ පවතින විටදී වුවත් අවදානම් අවධිය සිදුවිය හැක.
ඩෙංගු රක්තපාත තත්ත්වය සමඟත් ඇතිවන අවදානම් අවධිය හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ වනුයේ.

 

  •  බඬේ කැක්කුම
  •  අධික වමනය ඇතිවීම
  • ක්ලාන්තය සහ කරකැවිල්ල
  • තද පිපාසය
  • විදුරු මසෙන්, නාසයෙන් අධික රුධිර වහනය ඇතිවීම.
  • දුඹුරු පැහැ වමනය සහ කළු පැහැති මළපහ පිටවීම.
  • ඔසප් චක‍්‍රයේදී අධික ලෙස රුධිරය වහනය සහ නියමිත කාලයට පෙර ඔසප් චක‍්‍රය සිදුවීම.
  • ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය හඳුනාගත හැකි පරීක්‍ෂණ කවරේද?
  • සුදු රුධිරාණු ප‍්‍රමාණය  අඩු අගයක් දැකිය හැක.  
  • පට්ටිකා ප‍්‍රමාණය ශීඝ‍්‍ර ලෙස අඩු වේ. 
  • සාපේක්‍ෂ රක්තානු පරිමාව ඉහළ අගයක් දැකිය හැක.
  • රුධිරයේ ඇල්බියුමින් ප‍්‍රමාණය අඩුවීමක් ඇතිවේ.
  • රුධිරයේ කැල්සියම් ප‍්‍රමාණය අඩුවීමක් ඇතිවේ.
  • රුධිරයේ කොලොස්ටරෝල් ප‍්‍රමාණය  අඩුවීමක් ඇතිවේ.
  • අක්මාව  ආශි‍්‍රත සිදුකරනවැනි රුධිර පරීක්‍ෂණවල ඉහළ අගයක් දැකිය හැකිවීම.  
  • අල්ට‍්‍රාසවුන්ඞ් පරීක්‍ෂාව මේ පරීක්‍ෂාව මගින් උදර කුහරයේ සහ ප්ලූරා පටලය තුළ ප්ලාස්මා තරලය එකතුවී තිබීම මුල් අවස්ථාවේම හඳුනාගත හැක. බොහෝ රෝගීන්ගේ පිත්තාශයේ ඉදිමීමක්ද දැකිය හැකි වේ. 

 

 

ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය  නිසිලෙස හඳුනාගැනීම වැදගත් වනුයේ ඇයි?

මෙම අවදානම් අවධිය ඉහතින් දැක්වූ රෝග ලක්‍ෂණ සහ රෝග පරීක්‍ෂාවෙන් නිසිලෙස කලින් හඳුනාගෙන නිවැරැුදි ප‍්‍රතිකාර නොකිරීමෙන් රෝගියා කම්පන තත්ත්වයට  පත්වීමට ඉඩ ඇත. මෙම තත්ත්වය ඩෙංගු කම්පන තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. 

 

 

  • ඩෙංගු කම්පන තත්්ත්වය රෝග ලක්‍ෂණ කවරේද?
  • අත්පා සුදුමැලි සහ සීතල වීම
  • අධික නිදිමත ඇතිවීම
  • සිහිමඳ ගතිය
  • නොසන්සුන් බව
  • මුත‍්‍ර පිටවීමේ ප‍්‍රමාණය අඩුවීම
  • රුධිර පීඩනය අඩුවීම
  • හෘද ස්පන්දනය වේගවත්වීම
  • නාඩි අසු නොවීම.

 

ඩෙංගු රෝගය නිසා මියගොස් ඇති රෝගීන් අධ්‍යයනය කිරිමේදී දකින කරුණක් වනුයේ බොහෝ රෝගීන් මියගොස් ඇත්තේ ඩෙංගු කම්පන තත්ත්වය නිසා බවයි. මේ ලෙස ඩෙංගු කම්පන තත්ත්වයෙන් මියගොස් ඇති ඇතැම් අය රෝහල්ගතවී ඇත්තේ දැඩි කම්පන තත්ත්වයක් ඇතිවය. සමහරවිටකදී රෝහල්ගතවී සිටින ඩෙංගු රෝගීන්ගේද සිදුවිය  හැකි  අධික ප්ලාස්මා තරල කාන්දුව නිසා ඇතැම් රෝගීන් දැඩි කම්පන තත්ත්වයකට පත්ව මියයා හැක.


 ඩෙංගු කම්පන තත්ත්වය මෙතරම් බරපතළ ඇයි?
ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් ඇතිවන ඩෙංගු කම්පන තත්ත්වය නිසා රෝගීන්ගේ රුධිර පීඩනය ඉතා අඩු අගයකට පත්විය හැක. මේ ලෙස ඇතිවන අඩු රුධිර පීඩනය හේතුවෙන් දේහයේ  වැදගත් අවයවවලට රුධිර සංසරණය ශීඝ‍්‍රලෙස අඩුවේ. මේ හේතුවෙන් එම වැදගත් අවයවවල කි‍්‍රයාකාරිත්වය අඩුවීම නිසා මරණය සිදුවිය හැක. 


ඩෙංගු කම්පන  තත්ත්වය ඇති නොවී ඩෙංගු රෝගයෙන් මියයා හැකි තවත් අවස්ථා තිබේද?
ඩෙංගු ආසාදනය සිදුවූ අයගෙන් සියයකට 1කට වඩා අඩු ප‍්‍රමාණයකට ඩෙංගු වෛරසය සෘජුවම අක්මාව, මොළය සහ හෘදයට ඇති කරන හානිය නිසාද ඇතැමකු මියයා හැක. මෙම තත්ත්වය ‘‘ අසාමාන්‍ය රෝග ලක්‍ෂණ සහිත ඩෙංගු රෝගී තත්ත්වය’’ ලෙස හඳුන්වයි.


ඩෙංගු රෝගය හේතුවෙන් වැඩිලෙස මියයනුයේ කුමන රෝගීන්ද?

  • ගර්භනී මවුවරුන්
  • කුඩා ළදරුවන්
  • මහලූ පුද්ගලයන්
  • තරබාරු අය
  • දියවැඩියා රෝගීන්
  • වෙනත් කල්පවතින රෝග තත්ත්ව ඇති අය. 
  • ඩෙංගු රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මරණ අවම කරගත හැකි ක‍්‍රම කවරේද?
  • උණ සෑදුන පසු නිසිලෙස විවේකය ගැනීම
  • දියර වර්ග ලෙස කිරි, කැඳ, තැඹිලි, පලතුරු යුෂ, සුප්වර්ග සහ ජිවනී දියරය වැඩිලෙස ලබාගැනීම.
  • ඩෙංගු රෝගය සැක කෙරෙන අවස්ථාවලදී රතු සහ දුඹුරු පැහැති ආහාර සහ බීම වර්ග ගැනීමෙන් වැළකී සිටීම.
  • මුත‍්‍ර පිටවන වාර ගණන පිළිබඳව සැලකිලිමත්වීම.
  • තද උණ තිබේනම් ‘පැරසිටමෝල්’ ඖෂධය පමණක් පැය 8කට වරක් ලබාගැනීම.
  • වේදනාවට සුලබව භාවිතා කරන  ෘසජකදෙැබ්ජ සහ ෂඉමචරදෙැබ වැනි ඖෂධ භාවිතා නොකිරීම.
  • ඩෙංගු රෝගය සෑදී ඇතැයි සැක කෙරෙන සෑම විටකම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත  යොමුවීම. 

 

- සුසාර සංජීව

 

 


RECOMMEND POSTS