කොඳු ඇට පෙළේ වේදනාවට අලුත් ප්‍රතිකාරයක්



දිගු කාලීනව පවතින කොඳු ඇට පෙළේ වේදනා සඳහා නිසි ප්‍රතිකර්මයක් නොලදහොත් ඒවා පසුකාලයේදී තම දෙපාවලට, දෙඅත් සහ උකුළේ අමාරු සඳහා හේතුකාරක වෙයි. මෙහි අන්තර්ගතය වනුයේ එවන් රෝ‍ග රැසක්ම කිසිඳු අතුරු ආබාධයකින් තොරව සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවයි. එනම්  වෛකල්පිත වෛද්‍ය විද්‍යාවේ ඇතුළත් ' කයිරෝ ප්‍රැක්ටිස් ' ක්‍රමය ගැනයි. මෙය ග්‍රීක වචන දෙකක සම්මිශ්‍රණයකි. මෙහි තේරුම වනුයේ හස්ත උපකාරයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමය යන්නයි.  

මෙමගින් සුවය සලසා ගත හැකි රෝගීන් -

කොඳු ඇට පෙළෙහි විවිධ වෙනස්වීම් ඇති අය, හිසේ කැක්කුම, මසු පිඩු වේදනා, හන්දි වේදනා, කොඳු ඇට පෙළේ වේදනාවලින් පීඩා විඳින රෝගීන් සඳහා මෙමගින් සහනය සලසා ගත හැකියි. කොඳු ඇට පෙළේ වේදනා ගණන් නොගෙන සිටීමෙන් 'සයටිකා ' වැනි රෝගී තත්ත්ව මතු විය හැකියි. එහෙත් මේ තත්ත්වයද ඉහත ක්‍රමය මගින් සුව කර ගත හැකිය.

එසේම බෙල්ලේ අමාරු, වේදනා සහිත පුද්ගලයන් සඳහාද විශේෂ සුවයක් ලැබිය හැකිය. වර්තමානය වන විට ලංකාවේ රිය අනතුරු වර්ධනය වීමක් දැකිය හැකිය. එබඳු රිය අනතුරුවලට ලක්වී ඇවිද ගත නොහැකිව සිටින පුද්ගලයන්, අත පය ඔසවා ගත නොහැකි අයටද විශේෂිත වේ.

කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමයේ විශේෂිත වාසිය වනුයේ රෝගියාට බාහිර ප්‍රතිකාර කරන ගමන් වුවද මේ සඳහා යොමු වීමට ඇති හැකියාවයි. මෙකී ප්‍රතිකාර ක්‍රමයත් සමගම තමන්ගේ දේශීය හෝ බටහිර ප්‍රතිකාර ක්‍රමයත් නොනවත්වා කිරීමට ඇති හැකියාවයි.

සරල ප්‍රතිකාර ක්‍රමයක් වන මෙමගින් කිසිදු අතුරු ආබාධයක් සිදු නොවේ. අඩු වියදමක් යටතේ අවම මුදල් ප්‍රමාණයක් වැය කොට සුවය ලබා ගත හැකිය.

කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාද යෝග්‍ය වේ. මවක් විසින් තම දරුවා මෙලොවට බිහි කරනුයේ අධික වෑයමක් දරමිනි. සමහර අවස්ථාවලදී ඉන් දරුවාගේ කොඳු ඇට පේළිය යම් ඇදීමකට ලක් වේ. ඉපදුණු අවස්ථාවේදී මේ තත්ත්වය දක්නට නොලැබුණද පසුකාලීනව දරුවාට අහිතකර තත්ත්වයකි. දරුවා ඉපදී මුල් දිනවලම වෛද්‍යවරයකුට යොමු කළ හොත් ඉතා පහසුවෙන් මේ තත්ත්වය යථා බවට පත් කළ හැකිය.

කුඩා දරුවන් ඇවිදීමට හුරුවෙන මුල් කාලයේදීම වැටෙන වාර එමටය. වැටීම් නිසා කොඳු ඇට පෙළෙහි හෝ දෙපාවල හෝ අත්වල ඇතිවන ආබාධවලට  කයිරෝ ප්‍රැක්ටිස් කදිම නිදසුනකි.

එසේම දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව වේදනා නාශක ඖෂධ භාවිත කරන වැඩිහිටි පුද්ගලයන්ට, හන්දි අමාරු සේම, ආතරයිටිස් රෝගීන්ටද කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමයෙන් සහනය සලසා ගත හැකිය. මෙම ක්‍රමය භාවිතය අමාරු නොවේ. ඒ සඳහා වැය කිරීමට විශේෂිත කාලයක්ද ඇවැසි නොවේ. දෙවතාවක් හෝ තෙවතාවක් කිරීම සෑහේ.

කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමය භාවිත නොකළ යුතු අවස්ථා

කොඳු ඇට පෙළෙහි කුමන හෝ සැත්කමකට ලක්ව සිටින රෝගීන්, කොඳු ඇට පෙළෙහි කුමන හෝ බද්ධ කිරීමක් කර ඇති රෝගීන් සඳහා මෙය නොකළ යුතු වේ. මේ හැරුණු විට දරු ප්‍රසූතිය ආසන්නව සිටින ගැබිණි මවුවරුන් සඳහාද ඉහත ක්‍රමය යෝග්‍ය නොවේ.

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

සටහන -මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS