ඔෟෂධීය ගුණයෙන් සපිරි විනාකිරි



 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන විස්තර කරයි

ආහාර කල්තබා ගැනීමට යොදා ගන්නා විනාකිරි ඔසු ගුණෙන් පොහොසත් බව ඔබ දන්නවාද? එහි අන්තර්ගත ගුණය ගැන කතා කිරීමේදී එදිනෙදා ආහාරවලටද එකතු කර ගත හැකිය. විනාකිරි ආහාරවලට එකතු කර ගැනීමෙන් රසයද වැඩි කර ගත හැකිය. ආහාර දිරවීමේ පහසුවද ඇති කරයි.  කෙටි කෑම, තෙල් අධික කෑම වර්ගවලට බොහෝදෙනා මේ වනවිට පුරුදු වී ඇත. එවන් පුද්ගලයන්ටද විනාකිරි දිව ඔසුවකි.

විනාකිරි අන්තර්ගතය ජලය, ඇසිටික් ඇසිඩ්වල සහ වෝල්ටයිල් ඇතුළු වූ මිශ්‍රණයකි. ලංකාවේ පොල් විනාකිරි ඇතුළු විවිධ පලතුරු වර්ග එකතු කර ගනිමින් මිදි, ඇපල් ආදී විනාකිරි වර්ගද නිෂ්පාදනය වේ.

විනාකිරිවල ඔසු ගුණය

උදරය ඉදිරියට නෙරා ඇති පුද්ගලයන්, පිත් අමාරුවට, නිතරම තිබහ ගතිය, ආහාර දිරවීමේ අපහසුතා ඇති අය, විදුරුමස් දියවීම, නිරන්තරයෙන් දත්වල වේදනාව ඇති රෝගීන්ටද සුදුසු වේ. මේ සඳහා රාත්‍රී නින්දට යාමට ප්‍රථම උණු ජලය සමඟ විනාකිරි මිශ්‍ර කොට කට සේදීම කළ යුතුය. මෙමඟින් මුඛය පිරිසුදු කරනවා සේම දත් රිදීමද අවම කරයි.

එමෙන්ම හෝමෝන වෙනස්වීම් ආදියට මුහුණදී සිටින කාන්තාවන්, වාත රෝගීන්, වැසිකළි යාමේ අපහසුතා ඇති අයටද ඉතා ගුණදායී වේ. පණු අමාරුවෙන් පෙළෙන පුද්ගලයන්, හිසකෙස් හැළී තට්ටය පෑදෙන පුද්ගලයන්ටද විනාකිරි හිසේ ගල්වා සම්භාහනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

අධික වියළි ගතිය නිසා සම ආශ්‍රිතව ඇති වන කැසීමේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා විනාකිරි සම මත අතුල්ලා සම්භාහනය කළ හැකිය. විනාකිරිවල පෙඟවූ තිරයක් නළල මත දැමීමෙන්  උණ ගතිය නිසා ඇතිවන හිස රිදීමේ ගතිය මඟහරවා ගත හැකිය.

තවද ක්ලාන්තය සෑදුණු පුද්ගලයකුට නැවත සිහි එළවා ගැනීම සඳහා ඔහුගේ නහයට  විනාකිරි තැවරූ රෙදි කඩක් ළං කළ හැකිය. බඩ එළිය යාම වළක්වයි. කුඩා බඩවැලේ ඇති බැක්ටීරියා විනාශ කර දමයි. ආමාශයේ ඇති වාතය ඉවත් කරයි.

විනාකිරි ඇසුරු කර ගනිමින් සිදු කළ පැරැණි අත් බෙහෙත් ක්‍රම කිහිපයකි.

ඇපල් සීඩර් විනාකිරි

අව් රශ්මියෙන් පිච්චුන සමට යෝග්‍යයි. නිදිමත නිතර දැනෙන රෝගීන්ටද මී පැණි සහ විනාකිරි මිශ්‍ර ජලය පානය කිරීම සුදුසුයි. බර අඩු කර ගැනීමට විනාකිරි තේ හැඳි 2ක් පමණ උණු ජලය වීදුරුවක් සමඟ මිශ්‍ර කොට පානය කරන්න. ආහාර ගත් පසු නොකඩවා මාස 2ක් පමණ යන තෙක් මෙය කරන්න.

එහෙත් ඔබ මතක තබා ගත යුතු විශේෂිත දෙය වන්නේ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීමෙන් බඩ පුරවා දැමීම, බඩ රිදීම මෙන්ම ආමාශගත තුවාලද ඇති විය හැකියි.

සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS